ශ්‍රී ලංකාවට ලකුණු 163 ක ඉලක්කයන්

162

ඉන්දීය කණ්ඩායමේ අංක 6 පිතිකරු වූ දීපක් හූඩා නොදැවී ලබාගත් ලකුණු 41 සහ අංක 7 පිතිකරු වූ අක්සාර් පටෙල් නොදැවී ලබා ගත් ලකුණු 31 මත ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඊයේ (03 වැනිදා) පැවැති පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී ලකුණු 162ක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

දීපාක් හූඩා සහ අක්සාර් පටෙල් දෙදෙනා 6 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවී පවත්වන ලද සම්බන්ධතාවය ලකුණු 68ක් විය.

නායක හර්දික් පාන්ඩයා ඉන්දීය ඉනිමේ පහළොස්වන පන්දු වාරයේ පළමු පන්දුවට ලකුණු විසිනමයක් ලබාසිටියදී දැවී යන විට ඔවුන්ගේ ඉනිම සටහන් වූයේ කඩුලු 5ක් දැවී ලකුණු 94ක් ලෙසය.

එහෙත් ඉන්දීය ඉනිම නිමා වන තෙක් කඩුලු ලබා නොදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ලකුණු 68 ක් උදුරා ගත් හූඩා සහ පටෙල් ඉන්දියාවට යම් සැනසිලිදායක ඉලක්කයක් ලබාදීමට සමත් වූහ.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 163 ක ඉලක්කයක් හිමිවිය. ඉන්දියාව වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබාගත් ආරම්භක පිතිකරු ඉෂාන් කිෂාන් ලකුණු තිස්හතක් ලබා ගත් අතර ඉන් ලකුණු විසිහතක් ම කසුන් රාජිත විසින් යවන ලද පන්දු 11 ක් තුළදී ලබාගැනීමට ඉෂාන් කිෂාන් සමත් වූයේය.

කසුන් රාජිත සිය පන්දුවාර හතර තුළදී ලකුණු 47ක් ප්‍රතිවාදීන්ට ලබාදී තිබූ අතර වනිඳු හසරංග කිෂාන්ගේ කඩුල්ල දවාගත් අතර තරගයේ තීරණාත්මක කඩුල්ල වූ ලොව අංක එකේ පිතිකරු සූර්යකුමාර් යාදව්ගේ කඩුල්ල ඊයේ දිනයේ තමා ක්‍රියාත්මක කළ පළමු පන්දුවේදීම දවාගැනීමට චාමික කරුණාරත්න සමත් වූයේය.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විණි.

කුෂාන් සුභසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment