ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමග එක්වීමට බ්‍රිතාන්‍යය සූදානම්!

183

අගමැති බොරිස් ජොන්සන්ගෙන් ජනපති රනිල්ට සුබපැතුම්

ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්සත් රාජධානිය සූදානම් බව බ්‍රි‍තාන්‍ය අග්‍රමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සුබපැතුම් පණිවුඩයක් එවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත.

ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය ස්ථාවරත්වය ඇතිකර ගැනීම සඳහා සියලු පාර්ශව ඇතුළත් රජයක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දරන උත්සාහය ද බ්‍රි‍තාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාගේ පැසසුමට ලක්ව තිබේ.

එම සුබපැතුම් පණිවුඩයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතියක් අපේක්ෂා කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සාර්ථකත්වය බවයි.

ශ්‍රී ලංකාව සඳහා බි්‍රතාන්‍ය රජයේ අවංක කැපවීම නැවත අවධාරණය කරමින් විශේෂයෙන්ම වර්තමාන ආර්ථික හා සමාජීය අභියෝගවලදී එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ අඛණ්ඩව කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතුවලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉක්මන් සහ ධනාත්මක ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වසය පළ කර ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා තම ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සම්බන්ධවීමට එක්සත් රාජධානිය සූදානම්ව සිටින බවත් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ ප්‍රතිසන්ධානය සහ වගවීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන සහ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට වර්තමානයේ හැකිවනු ඇතැයි ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කර ඇත.

සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන 51 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල ප්‍රවේශයේ වෙනසක් ඇති කිරීමට ශ්‍රී ලංකා රජයට අවස්ථාවක් ලැබෙනු ඇති බවත් සඳහන් කර ඇත.

බි්‍රතාන්‍ය සහ ජාත්‍යන්තර ප්‍රජාවේ අනෙකුත් පාර්ශවයන්ට මෙම ගැටළු සම්බන්ධයෙන් සැබෑ සහ ප්‍රත්‍යක්ෂ ප්‍රගතියක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ වැඩ කිරීම අවශ්‍ය බවත් එම සුබපැතුම් පණිවුඩයේ සඳහන්ය.

එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකා සබඳතාවලට ප්‍රමුඛත්වය දීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය ද අගය කර ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ශ්‍රී ලංකාව තුළ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්‍රයත්නය උපරිමයෙන් සාර්ථක කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය ශුභාශිංසන එක් කර තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment