ශ්‍රී ලංකාවට සහාය දීමට IMF සහතික වෙයි

316

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපරිම සහයෝගය ලබාදීමට සහ ශ්‍රී ලංකාවට ලබා දෙන එම සහාය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහතික වී ඇත.

මුදල් ඇමැති අලි සබ්රි මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජොජියාවේ පෙරේදා (18 දා) හමුවී සාකච්ඡා කළ අතර එහිදී මූල්‍ය අරමුදලින් මෙම ප්‍රතිචාර ලැබුණු බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා මුදල් ඇමැතිවරයා මෙතෙක් ගෙන ඇති පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයුමට ලක් විය.

මෙහිදී මුදල් ඇමැති අලි සබ්රි මහතා ශ්‍රී ලංකාවට හදිසි මූල්‍යාධාර අවශ්‍ය බවට ඉල්ලීමක් කර ඇති අතර මෙම විශේෂ ඉල්ලීම ගැන සලකා බලන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත.

ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඊයේ (19 දා) තවත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබිණි. මෙම හමුව ඇමරිකාවේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේදී පැවැත්විණි. මේ අතර මුදල් ඇමැති අලි සබ්රි මහතා ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස ඉන්දීය මුදල් ඇමැති නිර්මලා සිතාරාමන් මහත්මිය ඇතුළු ඉන්දීය රජයේ නියෝජිත පිරිස ද පෙරේදා (18 දා) දින හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව පවත්වන සාකච්ඡා සඳහා ඉන්දියාවේ පූර්ණ සහාය ලබා දෙන බවට ඉන්දීය මුදල් ඇමැතිවරිය සහතික වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද මේ සාකච්ඡාවලට එක්ව සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment