ශ්‍රී ලංකාවට 2023 සිට 2027 දක්වා මාස 51කටම  ටෙස්ට් තරග 28යි

355

ලබන වසරේ ජනවාරි මස සිට 2027 වසරේ මාර්තු දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දින දර්ශනයට අනුව එම කාලය තුළදී ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ටෙස්ට් තරඟ 28 ක් පමණි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ එළිදක්වන ලද නවතම තරග කාලසටහනට අනුව ඒ බව පෙන්වා දී ඇත.

ඒ අතරෙන් ලබන වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිත ටෙස්ට් තරග ගණන 5කි. ඉන් එක් ටෙස්ට් තරගයක් අයර්ලන්තය සමගත් අනෙක් ටෙස්ට් තරග හතර නවසීලන්තය සහ පකිස්ථානය අතර තරග දෙක බැගින් පැවැත්වීමට නියමිතය.

2024 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග නමයකට සහභාගි වීමට නියමිතය. එහිදී බංගලදේශය, එංගලන්තය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව සමගින් ටෙස්ට් තරග දෙක බැගින් යුත් තරගාවලි සඳහා ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිත අතර ඇෆ්ගනිස්ථානය සමඟ ටෙස්ට් තරගයකටද ක්‍රීඩා කිරීමට නියමිත වේ. එහිදී එංගලන්තය නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන තරග ලෝක ශුරතා තෙවන ටෙස්ට් තරගමාලාවට අයත් වේ.

2025 වසර තුළ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ටෙස්ට් තරග 4ක් පමණක් වේ. එම ටෙස්ට් තරග හතර ඔස්ටේ්‍රලියාව සහ බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරග දෙක බැගින් වේ. එහිදී ඔස්ටේ්‍රලියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරග දෙකද ලෝක කුසලාන ටෙස්ට් තරගමාලාවට අයත් වේ. 2026 වසරේදී ටෙස්ට් තරග දෙක බැගින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, ඉන්දියාව සහ පකිස්ථානය සමග ටෙස්ට් තරග 6කට ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතය.

2027 වසරේදී ද ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ටෙස්ට් තරග හතරක් පමණි. ඒ නවසීලන්තය හා දකුණු අප්‍රිකාව සමගින් තරග දෙක බැගිනි.

ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග 28ක් හිමි වෙද්දී බංග්ලාදේශයට ටෙස්ට් තරග 34ක් හිමිව තිබේ.

මේ අතර එම කාලය තුළදී ශ්‍රී ලංකාවට එක් දින ජාත්‍යන්තර තරග 57ක් සහ පන්දුවාර විස්සයි විස්ස තරග 57ක් හිමිවී තිබේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment