ශ‍්‍රී ලංකාවේ 300 ට කෝලිගේ 100 ට මොහාලි හිදී අද මුලපුරයි

351

තුන් මසක නිහැඬියාවකින් පසු ටෙස්ට් කි‍්‍රකට් පිටියට පිවිසි ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (04 වැනිදා) මොහාලි කී‍්‍රඩාංගණයේදී ප‍්‍රබල ඉන්දියාව හමුවීමට නියමිතව තිබේ. එ් අනුව දෙරට අතර රතු පන්දු සංග‍්‍රාමය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30ට ආරම්භ වේ.

දශක හතරක අතීතයක් හිමි ශී‍්‍ර ලංකා – ඉන්දියා ටෙස්ට් තරග ඉතිහාසයේදී කණ්ඩායම් දෙක තරග 44කදී එකිනෙකා හමුවී තිබේ. ඉන් තරග 20ක් ජය ගැනීමට ඉන්දියානුවන් සමත්වී ඇති අතර තරග 7ක ජය හිමිකර ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වී තිබේ. එ් අතරවාරයේ තරග 17ක් ජය පරාජයකින් තොරව අවසන් වී තිබේ.

ශී‍්‍ර ලංකාව අද දිනයේදී 300 වැනි ජාත්‍යන්තර ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරද්දී ඉන්දීය සුපිරි පිතිකරු තමාගේ ජාත්‍යන්තර 100 වැනි ටෙස්ට් තරගයට අද කී‍්‍රඩා කරනු ලබයි. එ් අනුව දෙරට අතර මෙම තරගය ඓතිහාසික තරගයක් බවට පත්වේ. ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව 2017 වසරේදී අවසන් වරට ටෙස්ට් තරගාවලියකදී හමු වූ අතර තරග 3කින් සමන්විත එම තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගයේදී දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා ශතක වාර්තා කිරීමට සමත්වී තිබේ. ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය කණ්ඩායම එහි දෙවැනි ස්ථානයේ පසුවන අතර ශී‍්‍ර ලංකාවට හිමිව ඇත්තේ හත්වැනි ස්ථානය වේ. එමෙන් කණ්ඩායම් දෙකේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් ගත් කල රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණියේ පිළිවෙළින් පස්වැනි සහ හත්වැනි ස්ථානවල පසුවේ. ශී‍්‍ර ලංකා නායක දිමුත් කරුණාරත්න එම ශ්‍රේණියේ 8 වැනි ස්ථානයේ පසුවේ.

පන්දු යැවීම අතින් ගත් කල ඉන්දීය පන්දු බළ ඇණිය ශී‍්‍ර ලංකාවට වඩා ඉදිරියෙන් පසුවේ. එහිදී ඉන්දීය ප‍්‍රබල තුරුම්පුව බවට පත්ව සිටින රවිචන්ද්‍රන් අශ්වින් ලෝක ටෙස්ට් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසුවන අතර ජස්පි‍්‍රට් බුම්රා එහි දහ වැනි ස්ථානයේ පසුවේ. ශී‍්‍ර ලංකාවේ පිතිකරුවන් අතර වැඩිම බලාපොරොත්තුව බවට නායක දිමුත් කරුණාරත්න පත්ව සිටින අතර කරුණාරත්න අවසන් ටෙස්ට් ඉනිම් 10 තුළදී ලකුණු 702ක් වාර්තා කිරීමට සමත්වී තිබේ. එය 78.0ක ලකුණු සාමාන්‍යයක් ලෙසින් සටහන් වේ. මීට අමතරව පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා සහ ඇන්ජලෝ මැතිව්ස් මත ද මෙම තරගයේදී වැඩි වගකීමක් පැවරේ.

අද තරගයේදී කඩුලූ රැුකීමේ කාර්යය නිරෝෂන් දික්වැල්ල විසින් සිදුකරන බැවින් කුසල් මෙන්ඩිස්ට සහ දිනේෂ් චන්දිමාල්ට අවසන් 11 දෙනා අතරට පැමිණීමේ අවස්ථාව අහිමිවේ. ඉනිම ආරම්භය දිමුත් කරුණාරත්න සමඟ ළහිරු තිරිමාන්න විසින් සිදුකරන බැවින් කොදෙව් පිලට එරෙහි තරගාවලියේ ඉනිම ඇරැුඹි පැතුම් නිස්සංක අංක 3 ස්ථානයේ ක‍්‍රීඩා කිරීමට නියමිතය. පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් බැවින් ශ‍්‍රී ලංකා පිල අද දිනයේදී ප‍්‍රධාන පිතිකරුවන් හත් දෙනෙකුගෙන් යුතුව අවතීර්ණවද්දී ධනංජය ද සිල්වාට පස්වැනි පන්දු යවන්නා ලෙසින් කටයුතු කිරීමට සිදුවේ. මොහාලි තණතීරුව වේග පන්දු යවන්නන්ට දක්වනු ලබන සහයෝගය හේතුවෙන් ශ‍්‍රී ලංකා පිල අද දිනයේදී වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමඟින් අවතීර්ණ වද්දී එකම ප‍්‍රධාන දඟ පන්දු යවන්නා ලෙස ලසිත් ඇඹුල්දෙණිය හෝ ප‍්‍රවීන් ජයවික‍්‍රම ක‍්‍රීඩා කරනු ඇත.

”පැතුම් ඕපන් කළේ තිරිමාන්න නැති නිසා. අන්තිම කාලේ තිරී (තිරිමාන්න) එතන හොඳට සෙල්ලම් කළා. හෙට තිරී මාත් එක්ක ඕපන් කරනවා. පැතුම් අංක 3 සෙල්ලම් කරන්නේ” යැයි සඳහන් කර සිටින ශී‍්‍ර ලංකා නායක දිමුත් අවශ්‍ය වුවහොත් උපක‍්‍රමශීලීව එය දෙවැනි ඉනිමේදී වෙනසකට භාජනය වීමට ඉඩ තිබෙන බවද ඊයේ (03 වැනිදා) මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේය. ”දෙවැනි ඉනිමේදී අපිට උපක‍්‍රමශීලී වෙනසක් ගන්න වෙයි. මොකද එයාලගේ අශ්වින් ක‍්‍රීඩා කරන හින්දා විකට් එක දඟ කැවුණොත් දෙවැනි ඉනිම ඔහුගෙන් පටන් ගන්න පුළුවන්. සමහර වෙලාවට පැතුම් ආරම්භ කරන්නත් පුළුවන්. ඒක අපි තරගයේ යන විදිහ බලලා ඒ ගැන තීරණය කරනවා” යනුවෙන් එහිදී දිමුත් අද තරගය පිළිබඳ සඳහන් කර සිටියේය. මේ අතර සිය අවසන් ටෙස්ට් තරගාවලියට ක‍්‍රීඩා කරනු ලබන සුරංග ලක්මාල් සමඟින් දුෂ්මන්ත චමීර ක‍්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කෙරුණත් දිගින් දිගටම විස්සයි-20 තරගවල නියැළීම නිසා චමීරව හෙට තරගයේදී විවේක ගන්වනු ඇති බව ශ‍්‍රී ලංකා නායකයා අවධාරණය කර සිටියේය. ඒ අනුව ළහිරු කුමාර සහ විශ්ව ප‍්‍රනාන්දු ලක්මාල්ගේ ප‍්‍රධානත්වයෙන් යුතු වේග පන්දු බලඇණියේ සෙසු පුරුක් වෙති.

ශ‍්‍රී ලංකා සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ළහිරු තිරිමාන්න, පැතුම් නිස්සංක, ඇන්ජලෝ මැතිව්ස්, චරිත් අසලංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, විශ්ව ප‍්‍රනාන්දු, ළහිරු කුමාර. (කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ප‍්‍රවීන් ජයවික‍්‍රම, ජෙෆ්රි වැන්ඩර්සි, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර)

ඉන්දියා සංචිතය – රෝහිත් ෂර්මා (නායක), මායන්ක් අග‍්‍රවාල්, ශුබමන් ගිල්, විරාට් කෝලි, හනුමා විහාරි, රිෂාබ් පාන්ට්, රවීන්ද්‍ර ජඬේජා, රවිචන්ද්‍රන් අශ්වින්, මොහොමඞ් ශාමි, ජස්ප‍්‍රිට් බුම්රා, මොහොමඞ් ශිරාජ් (ශ‍්‍රීකාර් භරත්, ශ්‍රෙයාස් අයියර්, කුල්දීප් යාදව්, ප‍්‍රියන්ක් පන්චල්, සෞරාබ් කුමාර්, උමේෂ් යාදව්, ජයන්ට් යාදව්)

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment