ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය වැනසූ හිවල්ලු සහ වහල්ලු !

334

ශ්‍රී ලංකාවේ සමාජ – ආර්ථික හා දේශපාලන ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැඩි අවධානය යොමුව තිබෙන බව පැහැදිලිය. ඉකුත් 19 වැනිදා මෙරටේ ආර්ථික කළමනාකරණය හා ණය ප්‍රතිව්‍යුහගතකරණය අළලා ජනාධිපතිවරයා කළ පැහැදිලි කිරීම එයට එක් නිදසුනකි. එමෙන්ම සමාජ දේශපාලන අංශවල විවාදයට තුඩුදී තිබෙන 22 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි දෙවන වර කියැවීම ද පසුගිය 20 වනදාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම ද සුවිශේෂ සිද්ධියකි. මෙරටේ ආර්ථිකයේ දැඩි පීඩනයත්, ඒ සඳහා වූ අලුත් බදු යෝජනා පිළිබඳවත් ජනාධිපති රනිල් විසින් කරන ලද විශ්ලේෂණය රටේ ආර්ථික ස්ථාවරත්වය සඳහා ගත් පියවරක අසීරුතාව හා අමිහිර ගැන ද ජනතාවට වටහා දීමට ප්‍රමාණවත් වූ බව නිසැකය. ජනාධිපතිවරයාගේ විග්‍රහය තුළ ගෝඨාභය යුගයෙහි ගත් මුග්ධ හා අපරිණත ආර්ථික තීරණ ගැන ද සඳහන් විය. ඇත්ත වසයෙන්ම එදා මෙරටේ ආර්ථිකය මෙහෙයවූ කණ්ඩායමට අයත් ස්වල්ප දෙනා අද චෝදනාවට ද පාත්‍රව සිටිති. ඔවුන් ආර්ථික ඝාතකයන් ලෙස හැඳින්වීමට අමතරව ඒ සම්බන්ධයෙන් දඬුවම් ලැබිය යුතු බවට ජනමතයක් ද ගොඩනැඟී තිබේ.

ජනාධිපතිවරයා ඒ ආර්ථික අර්බුදයේ මුල් ඉවත් කිරීමට මෙන්ම ඒ සඳහා වූ සාධනීය ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක අවශ්‍යතාව ද අවධාරණය කර තිබේ. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ආදායම් වැඩිකර ගැනීම මෙන්ම නිශ්චිත බදු ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම ද අතිශය වැදගත් බව අප පිළිගත යුතුය. දේශපාලන විවේචනයක් ලෙස බොහෝ දෙනෙක් ඉදිරිපත් කරනු ලබන අමානුෂික බදු පීඩනය යන චෝදනාව ද අපට ප්‍රතික්‍ෂේප කළ නොහැකිය. ඇත්ත වශයෙන්ම අද ලංකාවට හොඳ හෝ නරක කිරා බැලීමකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අබියස දණ ගැසීමට ද සිදුවී තිබේ. අයි. එම්. එෆ්. උපදෙස්වලට පටහැනිව අපට ක්‍රියා කළ නොහැක. ඒ තරමටම අප අසරණය. රට බංකොලොත්ය. එහෙත් අපට තිබෙන විවේචනය වන්නේ ඒ සියලු පීඩන පොදුජන හිස මතට කඩා පාත්වී තිබීමය. කිසිම දිනක ඩොලරයක් සොරකම් නොකළ පොදු ජනතාවට අද ඒ ඩොලර් අර්බුදය වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවී තිබීමය. ජාතික සම්පත් හොරා කෑ චෞර වළල්ලත් ඔවුන්ගේ ඉඳුල් බුදින දේශපාලන වහල්ලුත් සඳලුතලවල සාද සුවයෙන් සිටිද්දී පොදු ජනතාවට තෙල්, ගෑස්, බෙහෙත් ඇතුළු අත්‍යාවශ්‍ය දේවල් ලබා ගැනීමට පෝලිම්වල කඹුරමින්, සිටීමටත් මියැදීමටත් සිදුවීම අපට අනුමත කළ නොහැකිය.

මේ සියල්ල ඉවසා දරාගත් ජනතාවට හුස්මක් ගැනීමට ඉඩක් ලැබුණේ රාජපක්‍ෂවරුන් එළවා දැමීමෙන් පසු රට භාරගත් රනිල් වික්‍රමසිංහ නිසා බවද කිව යුතුය. අද රනිල්ගේ ගුණ ගයමින් සිය දේශපාලන බල කඳවුර සවිබල ගැන්වීමට ඔවුන් දරන අලජ්ජී ප්‍රයත්නය ද ජනතාවට පැහැදිලිය. රාජපක්‍ෂ කඳවුර විසින් ජනාධිපති රනිල් ඔසවා තබන ආකාරය ගැන දේශපාලනයෙන්ම වියපත් වූ රනිල්ට පැහැදිලි වැටහීමක් තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. එබඳු පසුබිමක් යටතේ වුවද මේ ආර්ථික හා දේශපාලන චිත්‍රයට යම් විචිත්‍රත්වයක් එක්කිරීමට ඔහුට වුවමනා වී තිබේ. එහෙත් ජනාධිපති රනිල් ගාලුමුවදොර අරගලයට දැක්වූ ප්‍රතිචාර ගැන ඔහු ජනතාවගේ දැඩි අප්‍රසාදයට ද ලක් වී සිටියි. අද විශ්වවිද්‍යාලවල උද්ගතව තිබෙන අර්බුද වීදි සටන් බවට පත්වීම ආණ්ඩුව නොඉවසන බවද සැඟවිය නොහැක. එහෙත් ඒ ජාතියේ අනාගත සම්පත් සුරැකීම සඳහා මර්දන අවිය යොදා නොගත යුතුය. පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ඒ ආණ්ඩු විරෝධී තරුණ අරගලකරුවන් දඬුකඳේ ගැසීමට ගෙන එන ලද්දකි. ජනතාවගේ භාග්‍යයකට මෙන් එයට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමි නොවීය.

අපි යළිත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අලුත් බදු පිළිබඳව අවධානය යොමු කරමු. මෙහි දැඩි විවේචනයට ලක්ව තිබෙන්නේ රු. ලක්‍ෂයෙන් ආරම්භ වන බදු අයකිරීම ගැනය. සැබැවින්ම අද තිබෙන ආහාර උද්ධමනය හා වෙනත් මුදල් ආදායම් අඩුවීම් වැනි කරුණු ඍජුව බලපාන්නේ මධ්‍යම පන්තියට හා සාමාන්‍ය ජනතාවටය. එදිනෙදා කුලී වැඩකින් හෝ සුළු වෙළෙඳාමකින් ජීවිතය පවත්වාගෙන ගිය බොහෝ දෙනකුගේ ඉරණම අතිශය දුක්බරය. අද තිබෙන මිල ගණන්වල ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ද නැත. හැම භාණ්ඩයක්ම දෙගුණයකින් තුන්ගුණයකින් වැඩි වී තිබේ. ආර්ථික ස්ථායිකරණ ජාතික සභා අනුකමිටුව පෙන්වා දෙන්නේ 80% කට පෝෂ්‍යදායී ආහාර නැති බවය. ජනතාවගෙන් 1/5ක් වැනි සංඛ්‍යාවකට හොඳ ආහාර වේලක් ලැබුණත් ආහාර ලබා ගැනීම විශාල ගැටලුවක් වී තිබෙන බවය. අද බොහෝ නිවෙස්වල ආහාර වේල කොපමණ දිළිඳු දැයි මේ රටේ බොහෝ මැති ඇමැතිවරු නොදනිති. මැල්කම් රංජිත් කාදිනල්තුමා පසුගිය දිනක ප්‍රසිද්ධියේම සඳහන් කළේ අපේ ජනතාවගේ දුක, දිළිඳු බව දැනගැනීමට ජගත් වාර්තා නුවුවමනා බවත්, ඒ සඳහා පොදු ජනතා නිවසක බත් මුට්ටිය ඉදෙන්නේ ද යන්න විමසා බැලීම ප්‍රමාණවත් බවත්ය.

ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය වැනසූ හිවල්ලු සහ වහල්ලු !

ගෝඨාභය පාලන සමයෙහි බිලියන 700ක පමණ බදු මුදලක් මේ රටට අහිමි වූ බවද ජනාධිපතිවරයා සිහිපත් කර තිබේ. එසේම වක්‍ර බදු වලින් මෙරටේ සාමාන්‍ය ජන ජීවිතය කඩාවැටුණු ආකාරය ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. මෙවර ඍජු බදු පැනවීමට ආණ්ඩුව පියවර ගෙන ඇත්තේ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. ඇත්තටම මේ අසීරු අඳුරු යුගයෙන් රට ගොඩගැනීමට වෙනත් පහසු මාර්ගයක් ද නැත. මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළ පරිදි මෙම බදු පීඩනය ගැන විටින් විට සළකා බැලීම ද හොඳ පියවරකි. එසේම මෙහිදී ආණ්ඩුවේ වියදම් අඩුකර ගැනීම කෙරෙහිද දැඩි අවධානයක් යොමු විය යුතුය.

මෙහිදී ඇමැතිවරුන්ගේ ජීවන රටාවන් මීට වඩා සරල කරගත හැකි බවද කිව යුතුය. විශාල මුදලක් එක් ඇමැතිවරයකු වෙනුවෙන් වැය කරන රටක් වුවද ඒ බොහෝ ඇමැතිවරුන්ට ඒ ජනතා මුදල් ගැන අවබෝධයක් තිබේද යන්න සැක සහිතය. වාහන පිරිවරාගෙන මහ පාරේ යන සංදර්ශන මෙබඳු දුෂ්කර කාලයක නොවිය යුතු දේවල්ය. මැති ඇමැතිවරුන්ට ඉන්ධන සීමා හෝ වෙනත් බදු පීඩන හෝ නැත. බොහෝ ඇමැතිවරුන්ට නිල නිවාස ද ඇත. එසේම ඇමැතිකම් නැතත් ඒ නිල නිවසවල තවමත් සිටින චරිත ගැන ද රූපවාහිනි නාලිකාවල සංවාදවලදී හෙළිවෙයි. ජ.වි.පෙ. අනුර කුමාරට අනුව වසර විසිඅටක් එබඳු නිවාසවල පදිංචි වූ අයත් සිටිති. ඇත්ත වශයෙන්ම රටේ ජනතාව අසරණව, දිළිඳුව සිටිමින් ඒ දේශපාලන චරිත නඩත්තු කිරීම අපරාධයක් නොවේද?

බොහෝ විට මාධ්‍යවලින් විවේචනය වන්නේ ද මෙරටේ ප්‍රභූ දේශපාලන නඩත්තුව සඳහා කඹුරන ජනතාව ගැන ඒ කිසිවකුට හැඟීමක් නැති බවය. එසේම ආණ්ඩුවේ වාහන කොපමණ සංඛ්‍යාවක් නිලධාරීන්ට ලබාදී තිබේද යන්නත් යළි විමසා බැලිය යුතුය. පසුගිය දිනක පෞද්ගලික නාලිකාවක සංවාදයකට එක්වූ විද්වතුන් කීපදෙනෙක්ම ඉදිරිපත් කළ ප්‍රබල චෝදනාවක් වූයේ නිලධාරීන්ට පරිහරණය සඳහා ද රජයේ වාහන ලබාදීම ගැනය.

මේ සංවාදයට විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයෙහි මහාචාර්යවරු ද එක්ව සිටියහ. රාජ්‍ය නිලධාරීන්, ආරක්‍ෂක අංශවල නිලධාරීන් ඇතුළු වෙනත් තනතුරු දරන බොහෝ දෙනකුට රාජ්‍ය වාහන ලබාදීම පිළිබඳව යළිත් සිතා බැලිය යුතු බව මෙම සංවාද මණ්ඩපයේදී ප්‍රකාශ විය. සැබැවින්ම එබඳු වරප්‍රසාද කප්පාදු කරමින් රටට ආදර්ශයක් ලබාදීම අද ඉතා වැදගත්ය. ආරක්‍ෂක අමාත්‍යාංශයට වෙන් කර තිබෙන මුදල් මෙන්ම අධිවේගී මාර්ග සඳහා වියදම් කිරීම ගැන ද එහිදී විවේචන නැගුණි. විශේෂයෙන් ප්‍රභූ ආරක්‍ෂාව ගැන ද ඔවුන්ගේ කනස්සල්ල පළ විය.

ඇත්තටම අද රාජ්‍ය මුදල් භාවිතය සම්බන්ධයෙන් නොයෙක් විවේචන තිබේ. අධ්‍යාපන, සෞඛ්‍ය වැනි අමාත්‍යාංශවලට ලැබෙන මුදල් කපා දමා ආරක්‍ෂාවට විශාල මුදලක් අද ලබාදීම ගැන විපක්‍ෂය ද ප්‍රශ්න කර තිබුණි. බොහෝ නිලධාරීන් ද පුරුදු වී ඇත්තේ ජනතාවගේ මුදල් නිර්ලෝභීව වියදම් කිරීමටය. වංචාව තරමටම නාස්තිය ගැන ද ආණ්ඩුවලට විවේචන තිබේ. මෙබඳු ආර්ථික අවදානම් කාලයකදී වියදම් කළ යුතු ප්‍රමුඛතා හඳුනාගැනීම ඉතා වැදගත්ය. රාජ්‍ය උත්සව, පිටරට සංචාර ආදිය ගැන ද අවධානය යොමුවිය යුතුය. එහෙත් මහජන ප්‍රසාදය ලබාගන්නා හැම ආණ්ඩුවක්ම ගෙදර යන්නේ ද ඒ ජනතා මුදල් වංචා කිරීම, නාස්ති කිරීම ඇතුළු දූෂිත ක්‍රියාකාරකම් නිසාය.

දැන් අපි ඉහත සඳහන් කළ සාධනීය දේශපාලන ප්‍රතිසංස්කරණයක පියවරක් ලෙස හැඳින්වූ 22 වැනි සංශෝධනය පිළිබඳව සැකෙවින් විමසා බලමු. මෙම යෝජනාව ප්‍රජාතන්ත්‍රවාදය අගයන මෙරටේ බහුතරයක මෙන්ම ජාත්‍යන්තරව අපට සිදු කෙරෙන විවේචනවලට ද හොඳ පිළිතුරකි. 78 වන ව්‍යවස්ථාවට එක්වූ සංශෝධන විස්සෙන් රටට හා ජනතාවට වැඩදායි සංශෝධන දෙකක් ලෙස 17 හා 19 පිළිගනු ලැබේ. අනෙක් සියල්ලම පාහේ පක්‍ෂවල නැතහොත් පවුල්වල අභිලාෂයන් වෙනුවෙන් ඉදිරිපත් වූ බව කවුරුත් දනිති. 1948 දී ලංකාවට නිදහස ලැබෙන විට තිබුණු ව්‍යවස්ථාව ඉංග්‍රීසි පාලකයන් විසින් හඳුන්වාදෙන ලද්දක් වූ අතර එහි ඇතැම් අක් මුල් බි්‍රතාන්‍ය රැජිනට ද තිබුණි. 1972 දී සිරිමාවෝ අගමැතිනිය ඇගේ සමගි පෙරමුණු රජයෙන් හඳුන්වා දුන් ජනරජ ව්‍යවස්ථාව සාධනීය පියවරක් ලෙස පිළිගනු ලැබූවකි. 1978 දී ජේ. ආර්. ජයවර්ධන හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමය අද දක්වාම පවතින්නකි. ජයවර්ධන විසින් බලාත්මක කරන ලද එම විධායක ක්‍රමය බරපතළ විවේචනවලට භාජන වූවකි. එය රට හෝ ජනතාව දෙස බලා සැකසුවක් නොව ඔහුගේ පක්‍ෂය වූ එ.ජා.ප. ය හා ඔහුගේ මානසික දොලක් සපුරා ගැනීමක් ලෙස සමහරු දකිති. 72 ජනරජ ව්‍යවස්ථාව නිම වූ සමගි පෙරමුණෙහි ඇමැතිවරුන් වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා හා ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා 78 ව්‍යවස්ථාව පිළිබඳ අගනා විශ්ලේෂණයක් ද කර ඇත. එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ආයිත්තම් පැළඳ ගත් ව්‍යවස්ථානුකූල ජනාධිපති ඒකාධිපතිත්වයක් ලෙස ආචාර්ය කොල්වින් හඳුන්වා තිබේ. එම වැකිය වසර හතළිහකටත් අධික කාලයක් අපේ පසුකාලීන නායකයන්ට වටහා ගත නොහැකි වූවක්ද? නැතහොත් එය රසවිඳීමට ඔවුන් තුළ ස්වභාවික ඇල්මක් ඇති වූයේද?

කෙසේ හෝ මෙම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අපේ පසුකාලීන නායකයෝ කැප නොවූහ. මෙම ව්‍යවස්ථාව නිර්මාණය කළ ප්‍රමුඛයා පේරාදෙනි විශ්වවිද්‍යාලයෙහි දේශපාලන විද්‍යා අංශයේ මහාචාර්යවරයකු වූ ඒ. ජේ. විලිසන්ය. (ඔහු දෙමළ නායකයකු වූ එස්. ජේ. වී. චෙල්වනායගම්ගේ බෑණා කෙනෙකි.) මෙම ව්‍යවස්ථාව පිළිබඳව 1980 දී ඔහු ඉදිරිපත් කළ අදහස වූයේ රටක මුළු ජනතාවගේම ඉරණම එක් පුද්ගලයකුට ලබාදීම ප්‍රශ්නකාරී බවය. පුද්ගල අභිමතයකට රටක් යටත් වීම වරදක් බව ඔහුට වටහා ගැනීමට ගත වූයේ දෙවසරක් වැනි කාලයකි. එහෙත් ඒ ව්‍යවස්ථාව රටේත් ජනතාවගේත් අභිලාෂයන්ට අනුව වෙනස් වූයේ ද නැත.

ජයවර්ධනගේ ව්‍යවස්ථාවට සංශෝධන දෙකක් එක්කළ (17 හා 20) රාජපක්‍ෂවරු ඒ විධායකයේ රස රිසි ලෙස විඳගත්තෝය. මේ සංශෝධන දෙකම ඔවුන්ගේ පැවැත්ම හා බලය සඳහා සිදුවූ අතර ඒ සඳහා රාජපක්‍ෂලා සමග සන්ධාන ගත වූවෝද අත් එසවූහ. රාජපක්‍ෂ කඳවුරට එල්ල වූ විරෝධතා නිසා ගෝඨාභයට එහි වෙනසක් කිරීමට වුවමනා විය. ඒ ගාලුමුවදොර අරගලයේ ප්‍රතිඵලයක් ලෙසය. එහෙත් එය සම්පූර්ණ කිරීමට පෙර ගෝඨාභයට ධුරය අත්හැර යෑමට ද සිදුවිය. දැන් ඉදිරිපත්ව තිබෙන එම 22 සංශෝධනයෙහි ඉරණම මේ ලියන අවස්ථාව වනවිට විසඳී නොතිබිණි. එහෙත් ඇමැති විජයදාස ඒ සම්බන්ධයෙන් සුබවාදීව සිටියි. ඇත්ත වසයෙන්ම මෙරටේ දේශපාලන සංස්කෘතිය විනාශ වූයේ ද ඒ ඒ පක්‍ෂවල සිටි හා අදටත් සිටින දේශපාලන වහලුන් සහ හිවලුන් නිසා බවද සඳහන් කළ යුතුය. රටට වුවමනා ව්‍යවස්ථාවක් හා දේශපාලන සාරධර්ම ගොඩනගා ගැනීමට ඒ දේශපාලන හිවල්ලු හා වහල්ලු හරස් වෙති. එය අතීතයේත් සිදුවිය. හෙටක් එවැන්නක් සිදු නොවීමට ජනතාව විචාර බුද්ධියෙන් ක්‍රියා කළ යුතු වෙති.

22 සංශෝධනය ජනතා අභිලාෂයන් පිළිබිඹු කෙරෙන පරිපූර්ණ පියවරක් නොවුවද එමගින් අභිනව දේශපාලන සංස්කෘතියකට යන මංපෙත විවර කර ගත හැකිය. දූෂණය, වංචාව, හොරකම, අල්ලස වැනි දුෂ්ට මෙහෙයුම් මැඬලීම සඳහා වූ විගණනය හා ප්‍රසම්පාදනයක් ඊට අමතරව යෝජිත ව්‍යවස්ථාදායක සභාවක් ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ ලෙස සඳහන් කළ හැකිය. ඒවා නිසැකයෙන්ම මෙරටේ තිබෙන ගජමිතුරු දේශපාලනඥයන් ඔවුන්ට අනුබල දෙන චෞර වළල්ලෙහිත් නියත පරාජයකි. 22ට නොඑසවෙන අත් ගැන සමාජය අවදියෙන් සිටිනු ඇත. ඇත්ත වසයෙන්ම අද දේශපාලන වහලුන් නොවන කාගේත් එකම ප්‍රාර්ථනය යහපත් දේශයකි. නොබෝදා බුකර් සම්මානය දිනූ ශ්‍රී ලාංකිකයකු වූ ශෙහාන් කරුණාතිලක ඒ ජයග්‍රාහී සම්මාන වේදිකාවේ සිට ප්‍රකාශ කළේත් දූෂණය, භීෂණය, වංචාව, ගජමිතුරු සංග්‍රහය මෙන්ම ජාතිවාදය නොමැති ශ්‍රී ලංකාවක තම කෘතිය කියවනු දැකීම තම අභිලාෂය බවයි.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment