ශ්‍රී ලංකාවේ පළමු යොවුන් පාපන්දු ලීගය එයි

61

ක්‍රීඩකයන් 11000ක් කණ්ඩායම් 440 ක් තරග බිමට

දිවයිනේ ප්‍රධාන නගර 55ක් ආවරණය කරමින්, කණ්ඩායම් 440ක, ක්‍රීඩකයින් 11,000කට අධික සංඛ්‍යාවක් තරග වැදීමට නියමිත වයස අවුරුදු 19න් පහළ යොවුන් පාපන්දු තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යොදා තිබේ.

ලයිකා ඥානම් (Lyca Gnanam) පදනමේ අනුග්‍රහය මත එම තරගාවලිය පැවැත්වීමට නියමිත අතර අඛණ්ඩව වසර 03ක් යනතුරු එම අනුග්‍රාහකත්වය ලබාදීමට ඔවුන් එකඟතාවය පළ කර ඇත.

ක්‍රීඩා සමාජ නිලධාරීන් 2,500ක් මෙන්ම පුහුණුකරුවන් හා තරග විනිසුරන් 1,000කට අධික සංඛ්‍යාවක්ද මේ තරගාවලිය සඳහා එක්වීමට නියමිතව ඇත. ලබන ජූලි මාසයේ සිට තරගාවලිය ක්‍රියාත්මක වේ.

මූලික වටයේ තරග දිස්ත්‍රික් තරග ලෙසින් පැවැත්වෙන අතර ඒ සෑම දිස්ත්‍රික්කයකින්ම ජයගන්නා කණ්ඩායම (කණ්ඩායම් 24ක්) දෙවැනි වටයට සුදුසුකම් ලබයි. සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා දිස්ත්‍රික් තරග පැවැත්වෙන අතර, එම තරග ද ලීග් ක්‍රමයටම පැවැත්වීමට කටයුතු යොදා ඇත.’වයස 19න් පහළ යොවුන් පාපන්දු ලීගය’ ලෙසින් නම්කර තිබෙන මෙම තරගාවලිය, මෙරටදී පැවැත්වෙන පළමු යොවුන් ලීගය ලෙසින් ඉතිහාසයට එක්වේ.

තරගාවලිය පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (27දා) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැති අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, ලයිකා ඥානම් පදනමේ සභාපති අලිරාජා සුභාස්කරන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම මාධ්‍ය හමුව පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා ප්‍රකාශ කර සිටියේ, ඉදිරියේදී යොවුන් කාන්තා ලීගයක්ද පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

මෙම තරගාවලිය සඳහා රුපියල් මිලියන 50කට අධික මුදලක් වැයවනු ඇති බවට විශ්වාස කරන බවත් ජස්වර් උමාර් මහතා පැවැසීය.

මෙම තරගාවලිය එළඹෙන ජූලි මස සිට දෙසැම්බර් මස දක්වා සෑම සති අන්තයකදීම පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ලබන වසරේ සිට පැවැත්වීමට සැලසුම් කර තිබෙන වයස 20න් පහළ ලෝක කුසලාන තරගාවලියට පිවිසීමට මෙම තරගාවලියද අවස්ථාවක් කරගන්නා බව ජස්වර් උමාර් මහතා පැවසීය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment