ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට පනවා ඇති තහනම ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ආසියානු රග්බි සම්මේලනයේ ඉදිරි විධායක කමිටු රැස්වීමක දී සාකච්ඡා කර සුබවාදී ධනාත්මක පිළිතුරක් ලබා දෙන බවට ආසියානු රග්බි සංගමයේ සභාපති කයිස් අලි දලායි මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා වෙත පොරොන්දු වී ඇත.
ශ්‍රී ලංකාවේ තහනමට ලක් කර තිබෙන රග්බි ක්‍රීඩාව පිළිබඳව සාකච්ඡා කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අලි දලායි මහතා පෙරේදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටා ඇති රග්බි ආසියානු කාර්යාලයේ දී හමුවූ අවස්ථාවේදී දලායි මහතා එම පොරොන්දුව ලබා දී තිබේ.
ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය කර ඇති අතර එහිදී ශ්‍රී ලංකා රග්බි ජාතික කණ්ඩායම්වලට ආසියානු රග්බි තරගාවලි සඳහා සහභාගි වීමට අවස්ථාව ලබා දෙන ලෙස ආසියානු රග්බි සම්මේලනයේ සභාපතිවරයාගෙන් අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ආරම්භ වීමට දින කිහිපයකට පෙර සිදු කළ කණ්ඩායම් පුහුණුවීම් නැරඹීමට තමන් ගිය අතර කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකම ඉතා හොඳ දස්කම් දක්වනු දැකීමෙන් තමන් සතුටට පත් වූ බවත් ආසියානු රග්බි සභාපති අල් දලායි මහතා එහිදී පැවසුවේය.
එහිදී සාකච්ඡා වූ කරුණු අනුව ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට පනවා ඇති තහනම ඉවත් කර නැවත ක්‍රීඩා ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු ඉතා ඉක්මනින් සලසා ගැනීමට හැකිවේ යැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.
මෙහිදී සාකච්ඡා වූ කරුණු ඉදිරි විධායක කමිටු රැස්වීමක දී ඉදිරිපත් කර සුබවාදී ධනාත්මක පිළිතුරක් ලබා දෙන බවට ආසියානු රග්බි සංගමයේ සභාපතිවරයා අමාත්‍යවරයා වෙත පොරොන්දු විය. ඒ අනුව ශ්‍රී ලංකාවට යළිත් වරක් එළඹෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි සහ තෙවැනි අදියර සඳහා පිටියට පිවිසීමට ඉඩ ලැබෙනු ඇත.
එම තරගාවලියේ පළමු තරගාවලියේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කරවීමට හැකි උපරිම අයුරින් උත්සාහ ගන්නා බවත්, ඒ සඳහා අවස්ථාව උදා වේවි යැයි අමාත්‍යවරයා විස්වාශය පළ කරයි.
කාන්තා රග්බි ක්‍රීඩාව නගාසිටුවීම මෙන්ම ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ක්‍රීඩාව නගාසිටුවීමට ආසියානු රග්බි සංමේලනයේ සභාපතිවරයාගෙන් අමාත්‍යවරයා කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබුණු අතර, ඉදිරියේ දී ඒ සඳහා සුදුසු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා විය.
කුෂාන් සුබසිංහ