ශ්‍රී ලංකාවේ ලස්සන බලන්න ප්‍රථම වතාවට මෝල්ටාවෙන් සංචාරකයෝ එති

264

මෝල්ටා රාජ්‍යයේ සිට සංචාරකයන් විශාල පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් පළමු වතාවට කටුනායක ගුවන් තොටුපළින් ඊයේ (27දා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියහ.

මෝල්ටාව යුරෝපා මහාද්වීපය තුළ පිහිටි රාජ්‍යයකි. මෙම සංචාරකයන් මීට පෙර ඇමෙරිකාව සහ කැනඩාව සිය ශීත ඍතුව ගතකිරීමට තෝරා ගෙන තිබුණ ද, මෙවර ඒ වෙනුවට ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබේ. එරට සංචාරක නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාව තුළ දින 12ක අධ්‍යයන චාරිකාවක නිරත වීමෙන් පසු ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුදුසු ලාභදායී රටක් බවට එරටට නිර්දේශ කර තිබේ. ශ්‍රී ලංකාවේ පවතින ග්‍රාමීය ස්වාභාවික පරිසරය, වන අලි, දියඇලි, සුන්දර මුහුදු තීරය, ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය මෙහිදී එම සංචාරක නියෝජිතයන් පිරිස විසින් අගැයීමට ලක් කර තිබුණි.

50 දෙනකුගෙන් සමන්විත මෙම මෝල්ටා සංචාරක පිරිස ශ්‍රී ලංකාව තුළ දින 12ක් ගත කරමින් මීගමුව, සීගිරිය, දඹුල්ල, කවුඩුල්ල ජාතික වනෝද්‍යානය, මහනුවර, නුවරඑළිය, හෝර්ටන්තැන්න, යාල සහ දුම්රියෙන් ඇල්ල වෙත යෑමට ද නියමිතය. මෙම සංචාරකයන් පිරිස ඊයේ උදෑසන 08.20 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීහු පිරිසක්, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහ ශ්‍රී ලංකාවේ ප්‍රසාද් සංචාරක ආයතනයේ නිලධාරීහු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment