ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකක් ගන්න අල්ලස් දුන් ඔස්‌ට්‍රේලියානුවන් 2 ක් ෆෙඩරල් පොලිසියෙන් අල්ලයි

243

ඔස්‌ට්‍රේලියානු ඩොලර් මිලියන 14ක් වටිනා ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකක් ලබාගැනීම වෙනුවෙන් මෙරට නිලධාරීන්ට අල්ලස් ලබා දුන් ඔස්‌ට්‍රේලියාානු ජාතිකයන් දෙදෙනකු එරට ෆෙඩරල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 67 සහ 71 යන වයසේ පසුවන මෙම පුද්ගලයන් දෙදෙනා විෂමාචාර චෝදනා එල්ල වූ ස්මෙක් ඉන්ටනැෂනල් නම් ඔස්‌ට්‍රේලියානු සමාගමක සේවය කර තිබේ.

ශ්‍රී ලංකාවේ සහ බංගලාදේශයේ සිදු කළ බවට සැක කෙරෙන ‘නුසුදුසු ගෙවීම්’ සම්බන්ධයෙන් මෙම සමාගමට එරෙහි සාක්ෂි සොයාගෙන ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව මේ පරීක්ෂණ ආරම්භ වී තිබේ.

ඔස්‌ට්‍රේලියානු පොලිසිය රටවල් කිහිපයක් තෝරා ගනිමින් වසර කිහිපයක් පුරා සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව පසුගිය මාසයේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඔස්‌ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයන් 2009 සිට 2016 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ට ඔස්‌ට්‍රේලියානු ඩොලර් 304,000 කට වඩා අල්ලස් ලබා දී ඇති බවයි.

ඉදිරියේදී තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති අතර මේ දෙදෙනා ඊයේ (11දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු බව බීබීසී ලෝක සේවය වාර්තා කර තිබිණි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment