ශ්‍රී ලංකාවේ විද්‍යාඥ රංග රටට යසස ගෙනෙයි

462

තවත් විශිෂ්ට සොයාගැනීමක්
සුපිරි සන්නායක ගුණයක් ඇති පදාර්ථයක් සොයාගනී

අප මාතෘ භූමියේ යසස ලොව හමුවේ යළිදු විද්‍යමාන කරමින් ශ්‍රී ලාංකික විද්‍යාඥයකු භෞතික ලෝකයේ නව පෙරළියක් ඇතිකළ හැකි සොයාගැනීමක් සිදුකළ වග අභිමානයෙන් යුතුව වාර්තා කරන්නෙමු.

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා පසුව ඇමරිකාවේ නිව්යෝර්ක් සරසවියේ රෝචෙස්ටර් සරසවියේ සහකාර මහාචාර්යවරයකු ලෙස සේවය කරන මහාචාර්ය රංග ඩයස් සහ ඔහුගේ ශිෂ්‍ය කණ්ඩායම විසින් සිදුකරන ලද වසර 10 ක පර්යේෂණයකින් අනතුරුව මෙම නවතම සොයාගැනීම වූ සුපිරි සන්නායක ගුණයක් ඇති පදාර්ථයක් සොයාගැනීමට හැකි වී තිබේ.

ඇමරිකාවේ ‘නිව් සයන්ටිස්ට්’ සඟරාව මගින් මෙම සොයාගැනීම ප්‍රකාශයට පත්කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ විදුලිය එක් තැනක සිට තවත් තැනකට අමතර ශක්තියක් වැය නොකර ගෙනයෑමට ඇති හැකියාව මෙන්ම චුම්බක ශක්තිය හරහා යැවීමේදී පාවෙමින් ඝර්ෂණයකට ගමන් කිරීමට ශක්තියක් වැය නොවීමය.

මෙම සුපිරි සන්නායක ද්‍රව්‍ය නිර්මාණය කර ඇත්තේ හයිඩ්‍රජන්, නයිට්‍රජන් සහ ලුටීෂියම් යන මූලද්‍රව්‍ය මුසු කිරීමෙනි. ලුටීෂියම් හයිඩ්‍රයිට් යන පදාර්ථය ලෙසද මෙය හැඳින්වෙයි. විදුලි හානියකින් තොරව අධිබල සම්ප්‍රේෂණ ඝර්ෂණයකින් තොරව පොළොවට මදක් ඉහළින් ගමන් කරන අධිවේගී දුම්රිය, රෝහල්වල එම්. ආර්. අයි. තාක්‍ෂණයට අඩු වියදමකින් යොදා ගැනීමට මෙයින් හැකිබව තහවුරු වී තිබේ.

මීට අමතරව විද්‍යුත් ගුවන් යානා සහ බැටරි ආයු කාලය දීර්ඝ කර ගැනීමේ හැකියාව පවතින බව ද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය රංග ඩයස් මහතා

මම කිසිම දවසක මේ ආකාරයේ වර්ණය වෙනස් කරනු ලබන අමුද්‍රව්‍යයක් දැකලා නැහැ. එය නිල්පාට වර්ණයෙන් දිස්වෙනවා. පසුව එයට පීඩනයක් යෙදීමෙන් දීප්තිමත් රෝස පැහැයක් ගනු ලබන අතර තවදුරටත් පීඩනයක් යොමු කිරීමෙන් දීප්තිමත් රතු වර්ණයක් ගනු ලැබුවා. මම මගේ සිසුන් සමඟ සිදුකර සොයාගත් පදාර්ථයක්. මෙම සොයාගැනීම මගින් විශේෂයෙන් ප්‍රතිරෝධයකින් තොරව විදුලිය සම්ප්‍රේෂණය කිරීමටත් බලශක්තිය ගබඩා කිරීමටත් ඉඩ සැලසෙනවා. ඒ වගේම න්‍යෂ්ටික සංයෝජන ක්‍රියාවලියෙන් අසීමිත සුනිත්‍ය බලශක්තියක් උත්පාදනය කිරීමටත්, එය අපේ අවශ්‍යතා සඳහා යොදාගැනීමටත් ක්‍රියාත්මක උත්සාහය පිළිබඳව ඔබ අසා ඇති. රෙඩිමැටර් වැනි සුපිරි සන්නායක යොදා ගැනීමේදී එවැනි ප්‍රතිඵලයක් අත්කර ගත හැකිය.

සුනිත්‍ය බලශක්තිය කාලගුණ වෙනසට පිළියමක් ලෙස ද වැදගත්. ඒ වගේම මැග්නටික් ලැවිටේෂන් නැත්නම් අවකාශයෙන් අධිවේගයෙන් ධාවනය සඳහා මෙම සුපිරි අධිසන්නායක යොදාගත හැකි නිසා එය ප්‍රවාහනය සඳහා ද වැදගත්. එහිදී එම ද්‍රව්‍ය අධිවේගී දුම්රිය ධාවනය සඳහා ඝර්ෂණයෙන් තොර දුම්රිය මාර්ග නිර්මාණය කිරීමට යොදාගත හැකි අතර බලයකින් තොරව එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කළ හැකි වෙනවා. එපමණක් නොවෙයි වැඩි බැටරි ආයු කාලයක් සහිත විදුලි වාහන, විද්‍යුත් ගුවන් යානා , දුරකථන ඇතුළු අප භාවිතා කරන උපකරණවල ක්‍රියාකාරීත්වය ද මෙමගින් විශාල ලෙස වැඩිදියුණු කළ හැකියි.

මහාචාර්ය රංග ඩයස් මීට පෙර ලොව ප්‍රථම වතාවට කාමර උෂ්ණත්වයේ සුපිරි සන්නායක සොයා ගැනීමෙන් ද වාර්තාවක් තබා ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment