ශ්‍රී ලංකාව අද ඊඩ්න් ගාඩ්න්ස් වෙත ජය ගතහොත් සටන විවෘතයි

212

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුතු එක් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඉන්දියාවේ කල්කටාවේ පිහිටි සුප්‍රසිද්ධ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) ප.ව. 1.30ට පැවැත්වේ.

ගුවහාති හි පෙරේදා පැවැති තරගයෙන් ඉන්දියාව ලකුණු 67ක ජයග්‍රහණයක් ලබා ගත් අතර අද පැවැත්වෙන තරගය ජයග්‍රහණය කර තරගාවලිය තවදුරටත් කණ්ඩායම් දෙකටම විවෘත මට්ටමේ පවත්වාගෙන යෑම පිණිස ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජයග්‍රහණය වැදගත් වේ.

පෙරේදා පැවති තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරතවූ නායක දසුන් ශානක තරගයේ අවසන් පන්දුවට පෙර පන්දුවේදී ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර එම ශතකය ඔහුගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන ශතකය ලෙස වාර්තා වූයේය.

දසුන් ට අමතරව එම තරගයේ දී පිත්තෙන් දස්කම් දැක්වීමට ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සහ ධනංජය ද සිල්වා පමණක් සමත් වූ අතර සෙසු පිතිකරුවන්ගෙන් කණ්ඩායමට අවශ්‍ය වූ දායකත්වය නොලැබී යෑම ඉන්දියාව ලබා දුන් දැවැන්ත ඉලක්කය හඹා යෑමට ශ්‍රී ලංකාවට පැවැති ප්‍රධාන බාධාව විය.

කෙසේ වෙතත් එම තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කර සිටියේ සිය පන්දු යවන්නන්ගෙන් බලාපොරොත්තු වූ කාර්යය ඉටු නොවීම ගැන කනගාටුවට පත්වන බවයි.

ඉන්දීය පිතිකරුවන් හොඳ ආරම්භයක් ගත්තා. ඒ එක්කම ඔවුන් හොඳ තරගයක් ලබා දුන්නා. අපේ පන්දු යවන්නන්ට හොඳින් පන්දු යැවීමට හැකිවුණේ නැහැ. නමුත් ඉන්දීය පන්දු යවන්නන් පන්දුව හොඳින් දෝලනය කළා. ඒ දෝලනයත් එක්ක හොඳින් පන්දු යැව්වා. අපේ පන්දු යවන්නන්ට සැලසුම් තිබුණා. නමුත් ඒවා සාර්ථක කරගන්න බැරිවුණා. මම පිතිකරුවෙක් විදියට මූලික පියවර සාර්ථකව අනුගමනය කළා. ඒ නිසා තමයි හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්න පුළුවන් වුණේ දසුන් ශානක පැවැසීය.

පෙරේදා තරගයේ දී පන්දු රකිමින් සිටියදී දකුණු උරහිසේ ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුසංඛ අද තරගය සඳහා ක්‍රීඩා කරනවාද නැද්ද යන්න ඊයේ හවස තීරණය කිරීමට නියමිතව තිබිණි. එම ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් එම් ආර් අයි පරීක්ෂණයක් සහ එක්ස් රේ පරීක්ෂණයක් ඊයේ පවත්වා තිබුණි. එහි ප්‍රතිඵල අනුව තවදුරටත් ඔහු තරගාවලියේ ක්‍රීඩා කරනවාද නැද්ද යන්න තීරණය වීමට නියමිතව තිබුණි. යම් හෙයකින් ඔහුට අද තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් එම හිඩැස සඳහා ලහිරු කුමාර යෙදවීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

අද තරගය පැවැත්වෙන ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණය පන්දු යවන්නන්ට සහ පිතිකරුවන්ට එක සමාන ලෙස හිතකර ක්‍රීඩාංගණයක් බව එහි අතීත වාර්තාවලින් කියවේ.

කෙසේ වෙතත් එම ක්‍රීඩාංගණයේ පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 245 ක් ලෙසත් දෙවැනියට පන්දුවට පහර දෙන කණ්ඩායමක එම ලකුණු සංඛ්‍යාව 206ක් ලෙසත් දැක්වේ.

මෙම ක්‍රීඩාංගණයේ දී 2017 වසරෙන් පසුව එක් දින ජාත්‍යන්තර තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මෙම ක්‍රීඩාංගණයේ දී පස් වතාවක් මීට පෙර තරග වැදී ඇති අතර ඉන් තරග තුනක් ඉන්දියාව ජයග්‍රහණය කර ඇති අතර එක් තරගයක් විසඳුමකින් තොරව නිමා වී ඇත.

ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩාංගණයේ දී ජයග්‍රහණය කළ එකම තරගය වන්නේ 1996 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී ලද ජයග්‍රහණය වෙයි. ඉන්දීය ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණයට එල්ල කළ ප්ලාස්ටික් බෝතල් වැනි ප්‍රහාර මධ්‍යයේ තරගය නතර වෙද්දි විනෝද කම්බ්ලිට කඳුළු සලමින් ක්‍රීඩාංගණයෙන් යන්න වූයේ එම තරගයේ දී ය.

ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදී එම තරගය ජයග්‍රහණය කළ අතර ඉන්දියාව අදාළ තරග තුනම ජයග්‍රහණය කර තිබෙන්නේ දෙවනුවට පන්දුවට පහරදී ඉලක්කය හඹා ගොස් ය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment