ශ්‍රී ලංකාව අද දිනුවොත්  වසර 10කට පසුව  අවසන් සටනට

409

ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය

ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පවත්වනු ලබන දෙවන අවසන් පූර්ව තරගය යටතේ බංග්ලාදේශයේ සිලෙට්හි දී ශ්‍රී ලංකා පිල පාකිස්තානයට එරෙහිව අද (13 වැනිදා) ප.ව. 1.30 ට තරග වැදීමට නියමිතයි.

මූලික වටය යටතේ දෙපිල මුණ ගැසුණු තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 5කින් පරාජයට පත් කිරීමට පාකිස්තානු කාන්තා කණ්ඩායම සමත් විය. අද දිනයේ පළමු තරගය ලෙස ඉන්දීය කාන්තා පිලත් තායිලන්තු කාන්තා පිලත් පෙ.ව. 9.00ට තරග වදින අතර මොවුන්ගෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයේ ජය ගනු ලබන කණ්ඩායම සමග ආසියානු අවසන් මහ සටනේ දී උරෙනුර ගැටෙනු ඇත.

මූලික වටය යටතේ දී පාකිස්තානු පිලට එරෙහි තරගයේ දී කණ්ඩායමේ සිටින ප්‍රබල ම පිතිකාරිණිය වන චමරි අතපත්තු ලකුණු අතරට පිවිසීමට සමත්වීම ශ්‍රී ලංකා කඳවුරට සැනසිල්ලක් ගෙන දෙන්නක් වී තිබේ.

අද තරගය ජය ගතහොත් 2012 වසරෙන් පසු පළමු වතාවට අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට උදාවනු ඇත. වසර 18ක ඉතිහාසයකට උරුමකම් කියන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එකම වතාවක් හෝ ශූරතා කුසලාන දිනා නොමැති නමුත් සිව් වතාවක් අනුශූරතාව හිමිකරගෙන සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment