ශ්‍රී ලංකාව අද පල්ලේකැලේදී ඔස්ටේ්‍රලියාව සමග දෙවැනි සටනට – ඔස්ටේ්‍රලියා කණ්ඩායමේ  ශ්‍රී ලංකා  සංචාරය

304

ශ්‍රී ලංකාව සහ සංචාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම අතර තරග 5 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස අද (16 වෙනිදා) පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.

තරගාවලිය ආරම්භ කරමින් මෙම ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවැති පළමු තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකාව පරදවා කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමත්වූ අතර ඒ අනුව ඔවුන් ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව අද තරගයට මුහුණ දේ.

දඟ පන්දු යවන්නන් තිදෙනකුගේ බලය සංචාරකයන් ඉදිරියේ පෙන්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය සොයා ගෙන ගිය ද ග්ලේන් මැක්ස්වෙල්ගේ අනුකම්පා විරහිත පිතිප්‍රහාරය හමුවේ ලකුණු 300ක් ආරක්ෂා කර ගැනීමට සත්කාරක ක්‍රීඩකයෝ එම තරගයේදී අසමත් වූහ. එම තරගයත් සමග ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර මෙම ක්‍රීඩාංගණයේදී මෙතෙක් පැවති එක්දින ජාත්‍යන්තර තරග තුනම ජයග්‍රහණය කිරීමට ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමත්වී තිබීම ශ්‍රී ලංකා පැත්තෙන් යම් පසුබෑමක් වුවද ශ්‍රී ලංකාව පෙරේදා තරගයේදී පිතිහරඹයෙන් ප්‍රදර්ශනය කළ දක්ෂතා සැලකිය යුතු මට්ටමක පවතී.

මුල් පෙළ පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමත් අවසන් පන්දුවාර 10 තුළ ලකුණු 80 සීමාව ඉක්මවා යෑමට හැකි වීමත් ශ්‍රී ලංකාව පැත්තෙන් සැනසීමට හේතු වී ඇත. කෙසේ වෙතත් කණ්ඩායමේ සිටින වේග පන්දු බලාපොරොත්තුව වන දුෂ්මන්ත චමීරගේ දක්ෂතා යම් තරමක් දුරට පහළ බැස තිබීම  ශ්‍රී ලංකාව පැත්තෙන් හිතකර නොවන කාරණයකි.

ඔස්ටේ්‍රලියා කණ්ඩායමේද පිතිකරුවන් හොඳින් ලකුණු අතර සිටින අතර පළමු තරගයේ ජයග්‍රහණය හඹා යෑමේදී කණ්ඩායමට ලබා ගැනීමට ඉතිරිව තිබූ ලකුණු 93 කින් ලකුණු 80 කටම තනිව වගකියූ ග්ලේන් මැක්ස්වල් ගේ කඩුල්ල ඉක්මනින් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හැකි උපරිමය කළ යුතුව ඇත. එම තරගයේදී කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවූ ශ්‍රී ලංකාවේ ප්‍රධාන දඟ පන්දු බලාපොරොත්තුව වන වනිඳු හසරංග ආබාධයක් හේතුවෙන් අද තරගයට ක්‍රීඩා නොකිරීම ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් විශාල පාඩුවකි. මේ අතර සිය පළමු තරගයට ක්‍රීඩා කරමින් එදින කඩුලු දෙකක් දවා ගත් යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු පරිදි දසුන් ශානක විසින්ද ඔස්ටේ්‍රලියා කණ්ඩායම ඒරන් ෆින්ච් විසින් ද මෙහෙයවනු ලබති.

ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, නිරෝෂන් දික්වැල්ල, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, රමේෂ් මෙන්ඩිස්, මශීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ජෙෆ්රි වැන්ඩර්සේ, ළහිරු මදුසංක, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මදුශාන්.

ඔස්ටේ්‍රලියානු කණ්ඩායම – ඒරන් ෆින්ච් (නායක), ඩේවිඩ් වෝනර්, ස්ටීව් ස්මිත්, මර්නස් ලබුස්චේන්, මාක්‍රොස් ස්ටොනිස්, ග්ලේන් මැක්ස්වෙල්, ඇලෙක්ස් කේරි, ඇස්ටන් ආගර්, පැට් කමින්ස්, ජායි රිචඩ්සන්, ජෝස් හැසල්වුඩ්.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment