ශ්‍රී ලංකාව එක වෙයි නෙදර්ලන්තය දෙක වෙයි

373

එක්සත් අරාබි එමීර් රාජ්‍ය හමුවේ නැමීබියාව ලකුණු 07 කින් පරාජය වීමත් සමඟ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ‘ඒ’ කාණ්ඩයෙන් පළමු ස්ථානය හිමිකර ගනිමින් සුපිරි 12 වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි විය. ‘ඒ’ කාණ්ඩයෙන් ඒ සමඟම නෙදර්ලන්තයටද සුපිරි 12 වටයට පිවිසීමට අවස්ථාව උදාවිය.

යම් හෙයකින් ඊයේ පැවැති තරගයේදී නැමීබියාව ජය ගත්තේ නම් ශුද්ධ ලකුණු වේගය මත ‘ඒ’ කාණ්ඩයෙන් පළමුවෙනියා ලෙස ඔවුන් සුපිරි 12 වටයට පිවිසෙනු ඇත. එමෙන්ම නැමීබියාවට සහ ශ්‍රී ලංකාවට වඩා අඩු ශුද්ධ ලකුණු වේගයක් හිමි නෙදර්ලන්තයට සුපිරි 12 වටයේ බලාපොරොත්තු කඩවනු ඇත. එහෙත් එක්සත් අරාබි එමීරය ලද එම ජයග්‍රහණය සමග ඒ සියල්ල වෙනස්වූ අතර ශ්‍රී ලංකාව අංක 01 ලෙසත්, නෙදර්ලන්තය අංක 02 ලෙසත් සුපිරි 12 වටයට තේරී පත්විය. (නැමීබියාව එම තරගය ජය ගත්තද ශ්‍රී ලංකාවට සුපිරි 12 වටයේ ස්ථානය එලෙසින්ම පවතී. එහෙත් ‘ඒ’ කාණ්ඩයේ දෙවැන්නා ලෙසය.)

ශ්‍රී ලංකාව එක වෙයි නෙදර්ලන්තය දෙක වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නැමීබියාව අතර ඊයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 3 ක් දැවී ලකුණු 148 ක් ලබාගත් අතර නැමීබියා කණ්ඩායමට පිළිතුරු ලෙස ලබාගත හැකි වූයේ ලකුණු 141 පමණි.

ඒ සමඟම නැමීබියා කණ්ඩායමට සුපිරි 12 වටයට පිවිසීමේ බලාපොරොත්තුව කඩවී ගිය අතර ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත් වීමට ඔවුන්ට සිදුවිය. ‘ඒ’ කාණ්ඩයෙන් ඉවතට විසිවෙන අනෙක් කණ්ඩායම එක්සත් අරාබි එමීර් කණ්ඩායමයි.

එක්සත් අරාබි එමීර් කණ්ඩායම ලකුණු 07 ක ජයග්‍රහණයක් ලැබූවද ඔවුන්ගේ පන්දු යවන්නන් පීඩනයට පත් කළ නැමීබියා පිතිකරු ඩේවිඩ් වීසේ පන්දු 36 කදී වේගවත් ලකුණු 55 ක් ලබා ගත්තේය.

එක්සත් අරාබි එමීර් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 50 ක් සහ එක් කඩුල්ලක් දවාගත් මොහෙමඩ් වසීම් තරගයේ වීරයා බවට පත් වූයේය.

ඒ අනුව ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය සහ බී කාණ්ඩයේ අනුශූරයන් සමග සුපිරි වටයේදී තරග වදිනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment