ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තහනමක් අබියස!

246

එසේ වුවහොත් රට වෙනුවෙන් නායකත්වය දෙනවා
පාපන්දු කඩා වැටීමට හිටපු නිලධාරීන් වගකිව යුතුයි
මම රටට කෝටි 20ක් ඉතුරු කරල තියෙනවා

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමර්

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට ජාත්‍යන්තර තහනමක් පැනවීම ඉතා ආසන්නයට පැමිණ ඇති බවත් එසේ වුවහොත් මේ රට එම තහනමෙන් බේරා ගැනීමේ සටනට නායකත්වය දීමට තමා කටයුතු කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමර් මහතා කොළඹ දී ඊයේ (27 වැනිදා) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

ජාත්‍යන්තර තහනමක් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් පැනවුවවොත් මෙරට ක්‍රීඩකයන්ට, විනිසුරුවරුන්ට පුහුණුකරුවන්ට ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමට නොහැකිවීම වචනයෙන් පිරිමැසිය නොහැකි පාඩුවක් බවද ජස්වර් උමර් මහතා කීය.

1995 වසරේ සිට ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ ඇතිවූ පසුබැස්මට හේතු වූයේ 2021 වසර දක්වා වරින් වර මෙරට පාපන්දු පරිපාලනයට පත්වූ නිලධාරීන්ගේ අකාර්යක්ෂම සහ දූෂිත පාලනය නිසා බව ද හිටපු සභාපතිවරයා පැවසීය.

තමන්ගේ ඇති අඩුපාඩු වසා ගැනීමට ඇතැම් පිරිසක් පාපන්දු සම්මේලනයේ කටයුතු නිර්දය ලෙස විවේචනය කරමින් ජනාධිපති, ක්‍රීඩා ඇමැති සහ පොලීසිය නොමග යවමින් සිදුකරන ලද ක්‍රියාවල අතුරුඵලයක් ලෙස ශ්‍රී ලංකාව මෙම අවදානමට පත් වී ඇති බවත් ක්‍රීඩාවේ නාමයෙන් දැන්වත් මෙම කටයුතු නතර කරන ලෙස තමා එවැනි පටු අවස්ථාවාදීන් ගෙන් අයැද සිටින බවත් හිටපු සභාපතිවරයා පැවසීය.

මෙම මාධ්‍ය හමුව සඳහා 1995 වසරේ දකුණු ආසියානු ශූරතාවය දිනූ පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පිරිසක්, පුහුණුකරුවන් සහ විනිසුරුවරුන් ඇතුළු පාපන්දු ලීග කීපයක සාමාජිකයෝ කිහිප දෙනෙක්ද සහභාගි වූහ.

පාපන්දු සම්මේලනයේ නිල කාලය දීර්ඝ කරමින් ආණ්ඩුව මීට පෙර නිකුත් කරන ලද ගැසට් නිවේදනය පසුගිය 23 වැනිදා අහෝසි කරමින් පාපන්දු සම්මේලනයෙ නිල කාලය අහෝසි කිරීමට කටයුතු කරන ලදි.

එම තත්ත්වය උදාවූයේ ක්‍රීඩාවට හිත නැති තමන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රීඩාව උගසට තබමින් කටයුතු කරන පිරිසක් විසින් සිදු කරන ලද නොමඟ යැවීම් නිසා බවත් මෙරට පාපන්දු ක්‍රීඩාව පිළිබඳව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තුළ පැවැති විශ්වාසය එමගින් බිඳී ගිය බවත් හිටපු සභාපතිවරයා සඳහන් කළේය.

ඔවුන් මෙසේ හැසිරෙන්නේ තනතුරු සහ බල තණ්හාව නිසා යැයි තමා කලින් සිතා සිටියත් එහි සැබෑ අරුත තමාව මෙම සභාපති තනතුරෙන් ඉවත් කර ඔවුන් ඉදිරියේ ඇති දූෂණ චෝදනා සහ අක්‍රමිකතා වලින් ගැලවීම බවත් හිටපු සභාපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වූ අනුර ද සිල්වා මහතා තම පාර්ශවයට චෝදනා කළත් ඔහු සභාපති ධුරය දරන කාලයේ වසර දෙකක් තුළ රුපියල් ලක්ෂ 470 ක මුදල් වංචාවක් සිදුවී ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවත් හිටපු සභාපති ජස්වර් උමර් මහතා කීය.

එකල මූල්‍ය කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ රංජිත් රොඩි්‍රගෝ මහතා විසින් සෑම මාසයකම 25 හෝ 26 වැනි දිනයකදී අනුර ද සිල්වාගේ ගිණුමට යම් මුදලක් බැර කර තිබෙන බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බවත් හිටපු සභාපති ජස්වර් මහතා පැවසීය.

එමෙන්ම ඩොලර් ලක්ෂයක මුදල් වංචාවක් පිළිබඳ හිටපු සභාපතිවරයකුට චෝදනා පවතින බවත් ඒ පිළිබඳව සිදුකරන ලද වෝහාරික පරීක්ෂණයෙන් පසුව පිටු 81 ක වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බවත් ඒ අනුව හෙළි වී ඇති කරුණු අතර සිංගප්පූරුවට කණ්ඩායමක් පිටත් කරන බව පවසමින් අදාළ මුදල් වංචාව සිදු කරනු ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබෙන බවත් ජස්වර් උමර් මහතා සඳහන් කළේය.

පසුගිය වසරේ ජූලි පළවෙනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස තමන් පත් වූවත් ඒ වන විට රටේ පැවැති කොරෝනා තත්ත්වය සහ පසුව මතුවූ ආර්ථික, දේශපාලන සහ සමාජයීය ගැටලු හේතුවෙන් තමන්ට සක්‍රීය ලෙස කටයුතු කරන්ට හැකි වූයේ මාස 6 කටත් අඩු කාලයක් බවත් හිටපු සභාපතිවරයා සඳහන් කළේය.

එම සුළු කාලය තුළ වුව ද පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් දැවැන්ත සේවයක් සිදු කිරීමට තමාට හැකි වීම පිළිබඳව මේ අවස්ථාවේදී සතුටට පත්වන බව ද හිටපු සභාපතිවරයා සඳහන් කළේය.

එම කාලය තුළදී දේශීය මට්ටමේ තරග 806ක් සංවිධානය කිරීමට තමාට හැකිවූ බවද එමෙන්ම ජාත්‍යන්තර තරග 31කට ජාතික කණ්ඩායම සහභාගි කරවීමට තමාට හැකි වූ බවද හිටපු සභාපතිවරයා පැවසීය.

එමෙන්ම කටාර් දේශයේ සහ සවුදි අරාබියේ නේවාසික පුහුණු අවස්ථා තුනක් සඳහා ජාතික කණ්ඩායම යොමු කිරීමට කටයුතු සිදු කළ බවත් ඒවා ඉතා සාර්ථක වූ බව ද හිටපු සභාපතිවරයා කීය.

ජාතික කණ්ඩායමේ හිටපු පුහුණුකරු අමීර් ඇලජික් සහ දැල් රැකීමේ පුහුණුකරු ඉවත් කර ඔවුන් වෙනුවෙන් එතෙක් මාසයකට ගෙවන ලද රුපියල් ලක්ෂ 23 ක මුදල රටට ඉතිරි කර දීමට කටයුතු කළ බවත් ඔවුන් සඳහා වසරකට ලක්ෂ 270 ක මුදලක් ගෙවා ඇති බවත් හිටපු සභාපතිවරයා පැවසීය.

ඒ වෙනුවට තමාගේ හිතවත්කම මත කටාර් දේශයේ පූර්ණ අනුග්‍රහය මත පුහුණුකරුවන් මෙරටට ගෙන්වා ගත් බවත් පසුගිය කාලය තුළ දී තමා මේ රටට රුපියල් කෝටි 20කට වඩා වැඩි මුදලක් ඉතිරි කර දී තිබෙන බවද හිටපු සභාපතිවරයා කීය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment