ශ්‍රී ලංකාව ජිනීවා යුද අපරාධ උගුලේ හිරකළ අයටම පාර්ලිමේන්තුවෙන් ආරාධනාවක්!

1974

ත්‍රස්තවාදීන්ට එරෙහි සංග්‍රාමයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය කිසිදා ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියේ නැත. ජගත් සංවිධානය ඉන්දියාව ශ්‍රී ලංකාවේ කළ මැදිහත්වීමට අවස්ථාව ලබා දුන් බව රහසක් නොවේ. ත්‍රස්තවාදය 2009 පරාජය කළ පසුවද එක්සත් ජාතීන් ක්‍රියාත්මක වන්නේ ඉන්දු – පැසිෆික් උපාය මාර්ගය තුළය.

බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාව බටහිර යුද අපරාධ උගුලේ හිරකළ එවකට එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බෑන් කී මූන්, 79, (2007 ජනවාරි 01 – 2016 දෙසැම්බර් 31) පෙබරවාරි 07, 2023, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය. දකුණු කොරියානු ජාතික මූන් මෙවර ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ගෝලීය හරිත සංවිධානයේ වත්මන් සභාපති ලෙසය. කථානායක මහින්ද යාපා අබේයවර්ධන මූන් මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය. ඒ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් දම්මික දසනායක කොරියානු ජාතිකයාව පිළිගැනීමෙන් පසුවය. බෑන් කී මූන් මහතා, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වූන්ජින් ජියෝන්ග් සහ ගෝලීය හරිත සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෆ්‍රෑන්ක් රිජ්ස්බර්මන් ද මෙම අවස්ථාවට සහභාගි විය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අසරණ කළ ජිනීවා ක්‍රියාවලියට අවශ්‍ය පසුබිම සකස් කළ පුද්ගලයා මූන් පාර්ලිමේන්තුවේ දී පිළිගැනීම අදහාගත නොහැක.

එක්සත් ජාතීන්ගේ නායකත්වය ලැබීමට පෙර දකුණු කොරියාවේ විදේශ සහ වෙළෙඳ අමාත්‍යවරයා (2004-2006) වූ මූන් ශ්‍රී ලංකාව මුහුණ දුන් ත්‍රස්තවාදය පිළිබඳව පූර්ණ ලෙස දැනුවත් වී සිටි පුද්ගලයෙකි. නමුත් බටහිර භූ දේශපාලනික අවශ්‍යතා මත ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණ ක්‍රියාවලියක බැඳ දමා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මූන් ගත්තේය.

කොටි ත්‍රස්තවාදය පරාජය කරන තුරු එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකාවේ වගකීම සහ වගවීම සම්බන්ධයෙන් අබමල් රේණුවක තරම්වත් උනන්දුවක් තිබුණේ නැත. කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ත්‍රස්තවාදී සංවිධානය සමඟ රහස් සාකච්ඡා පැවැත්වූ බව රහසක් නොවේ. හතරවන ඊලාම් යුද්ධය (2006 අගෝස්තු 11 – 2009 මැයි 19) ආරම්භ වී මාස කීපයකට පසුව එක්සත් ජාතීන්ගේ නායකත්වය ගත් මූන්ට ශ්‍රී ලංකාවේ වගකීම සහ වගවීම මතක් වූයේ සන්නද්ධ හමුදා ජයග්‍රාහී මාවතකට පිවිසුනාට පසුවය. ඒ 2008 මුල් භාගයේදීය. තමන් ශ්‍රී ලංකාවට කළ බලවත් අසාධාරණයේ තරම හොඳ හැටි දන්නා මූන්, පාර්ලිමේන්තුවේදී තමන්ට ලැබුණ පිළිගැනීම සම්බන්ධයෙන් පුදුමයට පත්වන්නට ඇත.

ත්‍රස්තවාදී ඔත්තු සේවා නායක පොට්ටු අම්මාන් හෝ ඔහු වැනි පුද්ගලයකු පවා පාර්ලිමේන්තුවේදී පිළිගත හැකි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන්ට අවස්ථාව තිබිණි. රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් පවා කරුණා අම්මාන්ට ලබා දීමට මහින්ද රාජපක්ෂ රජය කටයුතු කළේය.

කෙසේ වෙතත් හිටපු එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම්වරයාට පාර්ලිමේන්තුවේ ලබා දුන් පිළිගැනීම සම්බන්ධයෙන් විමසා බැලිය යුත්තේ ඔහු බටහිර අවශ්‍යතාවයන් සපුරාලීම තුළ ශ්‍රී ලංකාව පත් වී ඇති අතිශය ව්‍යාකූල තත්ත්වයයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මුන් ඉතාමත් කපටි සහ අවස්ථාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. කොටි ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්, ඔහුගේ පවුල ඇතුළු ඉහළ ත්‍රස්තවාදී නායකත්වය මුලතිව් සටන් පෙරමුණෙන් ඉවත් කර ගැනීමට ඇමෙරිකාව කළ ආන්දෝලණාත්මක උත්සාහය අසාර්ථක විය. ඉන් පසුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ කොටු කිරීමේ මෙහෙයුම එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාත්මක කළේ මූන්ගේ නායකත්වයෙනි.

ශ්‍රී ලංකාව ජිනීවා යුද අපරාධ උගුලේ හිරකළ අයටම පාර්ලිමේන්තුවෙන් ආරාධනාවක්!
බැන් කී මූන්

ජුනි 22, 2010 මූන් පත් කළ තුන් දෙනකුගෙන් සමන්විත (ඇමෙරිකානු නීතිඥයෙක් වූ ස්ටීවන් ආර්. රැට්නර්, ඉන්දුනීසියාවේ හිටපු නීතිපති මාර්සුකි දරුස්මාන් සහ දකුණු අප්‍රිකානු මානව හිමිකම් ක්‍රියාකාරිනි යැස්මින් සූකා) කණ්ඩායම මාර්තු 31, 2011 ඉදිරිපත් කළ වාර්තාවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තුවට අමතකය. දරුස්මන් නායකත්වය දුන් එම කමිටුව ඕනෑම රටකට හිමි/ හිමි විය යුතු අභ්‍යන්තරික හෝ බාහිර ‘යුද’ තර්ජනයක් හමුදා ක්‍රියාමාර්ගයක් හරහා නිෂේධනය කිරීමේ අයිතිය ශ්‍රී ලංකාවට අහිමි කළේය. මීට පෙර ජයග්‍රාහී රටට එරෙහිව නැඟුන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ආකාරයට කටයුතු කර නැත.

ත්‍රස්තවාදය පරාජය කිරීමට අසහාය දේශපාලන නායකත්වයක් ලබා දුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා (නොවැම්බර් 17, 2005 – ජනවාරි 09, 2015) සහ යුද සමයේ ආරක්ෂක ලේකම් වූ පසුව ජනාධිපති ලෙස පත් වූ ගෝඨාභය රාජපක්ෂ (නොවැම්බර් 18, 2019 – ජුලි 14, 2022) ජනවාරි 10, 2023 යුද අපරාධකරුවන් ලෙස නම් කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම දැමුවේ මූන් බව අමුතුවෙන් කිව යුතු නැත. එක්සත් ජාතීන්ගේ නායකත්වය බටහිර න්‍යාය පත්‍රය අනුව කටයුතු කළ බව රහසක් නොවේ.

ශ්‍රී ලංකාව යුද සමයේ යහපත් ලෙස කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සියලු නිල තොරතුරු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉවත දැමීය. ඒ වෙනුවට කිසිදු නීතිමය හෝ අධිකරණ ක්‍රියාවලියකට ලක් නොවූ අදටත් අනන්‍යතාවය හෙළි නොකළ පුද්ගලයන්ගෙන් ලබා ගත් බවට දරුස්මන් කොමිටිය පිළිගත් තොරතුරු මත ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට ජාත්‍යන්තර පරීක්ෂණ ක්‍රියාවලියකට භාජනය කර ඇත. කැනඩාව ඊටත් එහා ගොස් ශ්‍රී ලංකාව ද්‍රවිඩ ප්‍රජාව සමූල ඝාතනය කළ බවට පිළිගෙන ඇත. කැනඩා පාර්ලිමේන්තුව මැයි 18, 2022 ද්‍රවිඩ ප්‍රජාව සමූල ඝාතනය කළ බවට ප්‍රකාශ කළේය. එම ක්‍රියාවලියේ දිගුවක් ලෙස ජනවාරි 10, 2023 රාජපක්ෂ සහෝදරවරුන් දෙදෙනාට සමandධක පැනවීය. එම තත්ත්වයට මග පෑදූ මූන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ පිළිගැනීමට ලක්වීම පුදුමාකාර තත්ත්වයක් නොවේද? මෙවැනි අවස්ථාවක් මීට පෙර දෙවන ලෝක යුද්ධයෙන් පසුව වාර්තා වී තිබේද?

බටහිර න්‍යාය පත්‍රයට අනුකූලව එක්සත් ජාතීන්ගේ නිව්යෝක් මූලස්ථානයේ දී එවකට මහ ලේකම් වූ මූන් නිකුත් කළ පිටු 132 ක වාර්තාව පදනම් කරගෙන ඔක්තෝබර් 01, 2015 දින එජාප – ශ්‍රීලනිප යහපාලන ආණ්ඩුව ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යුද අපරාධ චෝදනාවලියට සම දායකත්වය දැරීය. එයත් ලෝක වාර්තාවකි. දශක තුනක කාලයක් ත්‍රස්තවාදයෙන් බරපතළ ලෙස පීඩාවට පත්වූ ශ්‍රී ලංකාව එම ව්‍යසනයෙන් ගලවා ගත් දේශපාලන සහ හමුදා නායකත්වය යුද අපරාධකාරයන් ලෙස නම් කිරීමට මුල්වූ රාජ්‍ය තාන්ත්‍රිකයන් පාර්ලිමේන්තුවේ පැසසුමට ලක් කළ තවත් රටක් තිබිය හැකිද?

මහා බ්‍රිතාන්‍යයෙන් මීට වසර 75 කට පෙර නිදහස ලබා ගත් එදා සිලෝන් අද ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම විදේශය ග්‍රහණයට හසුවී ඇති බව පැහැදිළිය. මැති සබය මූන් පිළිගැනීම අවධාරණය කරන්නේ සමස්ත ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුව රට මුහුණ දෙන අභියෝගය සම්බන්ධයෙන් යන්තමින් හෝ සංවේදී නොවන බවයි.

කොටි ත්‍රස්තවාදීන් විසින් 2005 අගෝස්තු 12 වන දින කොළඹදී ඝාතනය කළ එවකට විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ අනුස්මරණ දේශනය බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල් මොමන් පැවැත්වූවායින් දින කීපයකට පසුව බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා යුද අපරාධකාරයන් බවට පත් කිරීමට මූලික වූ මූන් පාර්ලිමේන්තුවේ ගෞරවාදරයට පාත්‍රවීම අවාසනාවන්ත තත්ත්වයකි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 15වම මූන් පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කළේ නැත. කොළඹ බෞධාලෝක මාවතේ තුන්මුල්ලට ආසන්නව පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උපවාසයක් කළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයාවත් අවධානයට මූන් ගේ පාර්ලිමේන්තුවට යොමු වූයේ නැත.

උපවාසය කළ වීරවංශගේ සුව දුක් බැලීමට එදා එක්සත් ජාතීන්ගේ කොළඹ පිහිටි කාර්යාලය ඉදිරිපිටට ගිය එවකට ජනාධිපති වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ අවධානයට ද මූන්ගේ සම්ප්‍රාප්තිය ලක් වූයේ නැත.

මූන්ගේ වාර්තාව සකසා තිබුණේ ශ්‍රී ලංකාව ජිනීවා දඬු කඳේ ගැසීමටමය. යුද අපරාධ චෝදනා නැඟීමට පාදක කරගත් 4,000 පමණ වූ පැමිණිලි ඉදිරිපත් කළ 2,300 පුද්ගලයන් (වාර්තාවේ අංක 17 වන කරුණ) කිසිදු ආකාරයක පරීක්ෂණයකට හෝ අධිකරණමය ක්‍රියාවලියකට වාර්තාව ජනගත කළ 2011 මාර්තු 31 සිට වසර 20 ක් යන තුරු මුහුණ නොදිය යුතු බවට කළ නිර්දේශය ශ්‍රී ලංකාව පිළිගත්තේය. එම වාර්තාව අනුව වසර 20 කින් පසුවත් එම තොරතුරු හෙළි නොකර සිටීමට එක්සත් ජාතීන්ට තීරණය කළ හැකිය. ජනාධිපති නීතිඥ සහ විදේශ ඇමැති අලි සබ්රි සහ ජනාධිපති නීතිඥ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළ යුතුය.

විදේශ සහ ආරක්ෂක අමාත්‍යාංශ සහ නීතිපති දෙපාර්තමේන්තුව මූන්ගේ වාර්තාව තවමත් තියුණු අධ්‍යයනයකට භාජනය කළ බව නොපෙනේ. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් වසර දෙකකට පමණ පසුව ජනගත කළ වාර්තාවක් 2023 වසර වන තුරුත් නිසි අධ්‍යයනයකට ලක් නොවීම ඉතාමත් සෝචනීය තත්ත්වයකි. එවකට ලුතිනල් ජනරාල් සරත් ෆොන්සේකාගේ හමුදාව ත්‍රස්තවාදය අවසන් කළේ මුලතිව් හි නන්දිකඩාල් කලපු ඉවුරේය. ඒ 2019 මැයි 19 දින පෙරවරුවේය. ඊට දින හතරකට පසුව ශ්‍රී ලංකාවේ උතුරේ සංචාරය කළ මූන්, දරුස්මන්ගේ නායකත්වයෙන් යුත් තුන් දෙනකුගේ කණ්ඩායම පත් කිරීමේ අඩිතාලම දැමීය. ශ්‍රී ලංකාව බිංදුවටම බැස්සවූ එම වාර්තාවේ අතිශය ආන්දෝලනාත්මක චෝදනාව වූයේ ද්‍රවිඩ සිවිල් වැසියන් 40,000 හමුදා ප්‍රහාර හේතුවෙන් මියගිය බවයි (වාර්තාවේ අංක 137 වන කරුණ). මෙම චෝදනාව ඉදිරිපත් කළ කිසිදු පුද්ගලයකු අද වනතුරු හඳුනාගෙන නැත. මූන්ට සතුටු විය හැක.

ශ්‍රී ලංකාව ජිනීවා යුද අපරාධ උගුලේ හිරකළ අයටම පාර්ලිමේන්තුවෙන් ආරාධනාවක්!
ප්‍රභාකරන් මුණගැසුණු එරික් සෝල්හයිම්

මූන් නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ 2016 සැප්තැම්බර් පළමුවන සතියේය. ඒ එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ආණ්ඩුව ජිනීවා පාවාදීම සිදුකර මාස 11 කට පමණ පසුවය.

අද වනවිට ශ්‍රී ලංකාව බටහිර ඉන්දු – පැසිෆික් න්‍යාය පත්‍රයට හසුවී හමාරය. අප අසල්වැසි ඉන්දියාව චීනය ඉලක්ක කරගත් එම ඉන්දු-පැසිෆික් ක්‍රියාදාමයේ ස්ථානගතවී ඇත්තේ ඇමෙරිකාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව සමඟය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නායකත්වය දෙන එජාපය ඇතුළුව පාර්ලිමේන්තුව එදා මෙදා තුර නියෝජනය කළ සියලුම පක්ෂ අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ගිය වසර මුල ශ්‍රී ලංකාව බංකොළොත් බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පිළිගත්තේය. ඉන්දු – පැසිෆික් මෙහෙයුම අපූරුවට ක්‍රියාත්මක කළ හැකි වාතාවරණය ශ්‍රී ලංකාවේ දූෂිත, විනාශකාරී සහ අතිශය වගකීම් විරහිත දේශපාලන ක්‍රමය නිර්මාණය කර ඇත.

කොටි ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ දේශපාලන අතකොළුව වූ ආර්. සම්පන්දන්ගේ ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ යහන්ගත වූ නෝවීජියානු රජයේ නියෝජිත එරික් සෝල්හයිම් 2022 ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුවේ උපදේශක තනතුරක් ඔහුට පිරිනැමිණි. කොටි සංවිධානය කිසිසේත් හමුදාමය ක්‍රියාමාර්ගයකින් පරාජය කිරීමට නොහැකි බව එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟම ප්‍රකාශ කළ සෝල්හයිම් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරාධනයෙන් පැමිණීම විශේෂ සිදුවීමකි.

ශ්‍රී ලංකාව පහළටම දැමූ බටහිර මෙහෙයුමේ සැලසුම්කරුවකු වූ මූන් පාර්ලිමේන්තුවේදී පිළිගැනීම ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පිළිකුලට ලක්විය යුතුය.

මූන් මඟපෙන්වූ ක්‍රියාදාමය තුළ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට ඇමෙරිකානු වීසා බලපත්‍රය අහිමි විය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවීන්ද්‍ර සිල්වාට ද ඇමෙරිකාව තහනම් ය. ඒ 2020 පෙබරවාරි සිටය. ෆොන්සේකාට තහනම පැනවූයේ ඊට වසර ගණනාවකට පෙරය. එතුමාට ඇමෙරිකාව තහනම් බව ජනතාව මුල්වරට දැන ගත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ 2016 එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට යෑමට අයැදුම් කළ වීසා ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදීය. ත්‍රස්තවාදයට එරෙහි සටනේදී අද්විතීය කාර්යක් කළ මේජර් ජනරාල් චාගි ගාල්ලගේටද ඔස්ට්‍රේලියවේ දොර වැසිණි. ඒ 2016 ඔහු හමුදා සේවයේ සිටින කාලයේදීය. විදේශය අමාත්‍ය සබ්රි මේ සම්බන්ධයෙන් මෙම ලියුම්කරු කළ විමසීමකදී අවධාරණය කළේ පුද්ගලයන් පමණක් නොව වන්නි සටන් සේනාංක පවා යුද අපරාධවලට වගකිවයුතු සංවිධාන ලෙස නම් කර ඇති බවයි. එවැනි තත්ත්වයක් කිරීමට මඟ සැලසූ මූන්ට පාර්ලිමේන්තුවට ආරාධනා කිරීම සුදුසුද?

චීනයට එරෙහිව ක්‍රියාත්මක ඉන්දු – පැසිෆික් උපාය මාර්ගයේ ශ්‍රී ලංකාව පටලවා ඇත. ශ්‍රී ලංකාව මුහුණ දෙන අතිශය තීරණාත්මක ගෙවුම් ශේෂ සහ ණය අර්බුදයද සමස්ත ඉන්දු – පැසිෆික් උපාය මාර්ගයේ දුෂ්ඨ සැලැස්මකි. එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් දූෂිත ශ්‍රී ලංකා දේශපාලන ක්‍රමය ඇති කර ඇත. එයට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ වගකිව යුතුය. වගවිය යුතුය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment