ශ්‍රී ලංකාව දැවැන්ත ජයකින් තරගාවලියට ජීවය ගෙන එයි

530

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් යුත් තරගාවලියේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (04 වැනිදා) පැවති දෙවන එක් දින තරගයේදී ලකුණු 132 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය.

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ තුන් ඉරියව් දස්කම් මත ශ්‍රී ලංකාව ලබා ගත් මෙම ජයග්‍රහණය ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව ලද පස් වන එක්දින තරග ජයග්‍රහණය වේ.

ඒ අනුව දෙරට අතර තරගාවලිය මේ වන විට 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවන අතර පසුගිය දෙවැනි දා පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය කඩුලු 6 ක ජයග්‍රහණයක් ලැබීය.

ශ්‍රී ලංකාව කාසියේ වාසිය ජයග්‍රහණය කර ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර එහි දී ඔවුහු නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 323 ක් ලබා ගත්හ.

සත්කාරක ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ඇෆ්ගනිස්තානයට එම ලකුණු සංඛ්‍යාවෙන් ලබාගත හැකි වූයේ ලකුණු 191 ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය එක් අවස්ථාවකදී කඩුලු 2 ක් දැවී ලකුණු 146 ක් රැස් කරගෙන සිටියද ඔවුන්ගේ ඉතිරි කඩුළු 8 ලකුණු 45ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් වෙනුවට වෙනස්කම් 4 ක් සිදු කර තිබූ අතර ඒ අනුව සධීර සමරවික්‍රම, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ හා දුෂ්මන්ත චමීර කණ්ඩායමට ඇතුළත් වූහ. පළමු තරගයට ක්‍රීඩා කළ ඇන්ජෙලෝ මැතිව්ස්, දුෂාන් හේමන්ත, ලහිරු කුමාර (ආබාධයක්) හා මතීෂ පතිරණ වෙනුවට ඔවුහු කණ්ඩායමට පැමිණ සිටියහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගයේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ධනංජය ද සිල්වා ලකුණ 39 කට කඩුලු 3 ක් දවා ගත් අතර කලකට පසු පිටියට පිවිසි දුෂ්මන්ත චමීර කඩුලු 2ක් දවා ගනිමින් ජයග්‍රහණයට හොඳ අඩිතාලමක් ලබා දුන්නේ ය.

ආබාධයක් හේතුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකළ වනිඳු හසරංග ද සිය සුපුරුදු කඩුළු දඩයමට අවතීර්ණ වෙමින් ලකුණු 42 කට කඩුලු 3 ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිති හරඹයේදී ආරම්භක කඩුල්ල සඳහා දිමුත් කරුණාරත්න හා පැතුම් නිස්සංක ලකුණු 82 ක සම්බන්ධතාවයක් ගොඩනැඟු අතර පැතුම් නිශ්ශංක ලකුණු 43 කට දැවී යද්දී දිමුත් සිය 7 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 62 කදී ලකුණු 52 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 75 කින් ලකුණු 78 ක් රැස් කළ අතර අලංකාර හයේ පහරක් හා හතරේ පහර 7ක් කුසල්ගේ ඉනිමට ඇතුළත් වූයේය.

කුසල් මෙන්ඩිස් හා සධීර සමරවික්‍රම අතර තෙවැනි කඩුල්ලට ලකුණු 88 ක සම්බන්ධතාවයක් ගොඩනැඟුණු අතර සධීර පන්දු 46 කින් ලකුණු 44 ක් ලබා ගත් අතර පළමු තරගයේදී ලකුණු 91 ක් ලබාගත් චරිත් අසලංක ලකුණු 6 කට දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිමේ අගභාගයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ නායක දසුන් ශානක පන්දු 13 කින් ලකුණු 23 ක් ද, ධනංජය ද සිල්වා පන්දු 24 කින් නොදැවී ලකුණු 29 ක් ද ලබා ගත් අතර වනිඳු හසරංග පන්දු 12 කින් නොදැවී ලකුණු 29 ක් ලබා ගත්තේය.

ධනංජය, දසුන් සහ වනිඳු යන තිදෙනාම හයේ පහර එක බැගින් වාර්තා කළ අතර වනිඳුගේ පිත්තෙන් ඊට අමතරව හතරේ පහර 4 ක් ද එල්ල විය.

පන්දු යැවීමේ දී ෆරීඩ් අහ්මඩ් හා මොහමඩ් නබී කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 324/6

කුසල් මෙන්ඩිස් 78, දිමුත් කරුණාරත්න 52, ධනංජය ද සිල්වා නොදැවී 29, පැතුම් නිශ්ශංක 43, සධීර සමරවික්‍රම 44, වනිඳු හසරංග නොදැවී 29, දසුන් ශානක 23

ෆරීඩ් අහමඩ් 61/2, මුජීබ් උර් රහමන් 39/1, මොහොමඩ් නබි 52/2, නූර් අහමඩ් 70/1

ඇෆ්ගනිස්තානය පන්දු වාර 42.1 කදී සියලු දෙනා දැවී ලකුණු 191

ඉබ්‍රහිම් සර්ධාන් 54, රහමට් ශා 36, හෂ්මතුල්ලා ශහිඩි 57, අශ්මටුල්ලා ඔමාරසි 28

ධනංජය ද සිල්වා 39/3, වනිඳු හසරංග 42/3, දුෂ්මන්ත චමීර 18/2, දසුන් ශානක 29/1, මහීෂ් තීක්ෂණ 35/1

advertistmentadvertistment
advertistmentadvertistment