ශ්‍රී ලංකාව පරදවා නවසීලන්තයට 2-0 ක ජයක්

98

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර වෙලින්ටන් හි “බේසින් රිසර්ව්” ක්‍රීඩාංගණයේ පැවැති දෙවන අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 58 ක දැවැන්ත පරාජයක් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (20 වැනිදා) උරුම විය.

ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් වූයේය.

මෙම තරඟයේ දී ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකාවට ඊයේ දිනයේදී කඩුලු 8 ක් අතැතිව තවත් ලකුණු 303 ක් රැස් කර ගැනීමට නියමිත වූ අතර එහෙත් ජේ්‍යෂ්ඨ පිතිකරුවන් කඩුලු විසිකර දැමීම මත නැවත වරක් ශ්‍රී ලංකාවට පරාජය උරුම විය.

නවසීලන්ත පළමු ඉනිම සඳහා ලකුණු 580 ක් රැස් කළ අතර පළමු ඉනිම සඳහා ලකුණු 164 ක් ලබාගත් ශ්‍රී ලංකාව පෙරේදා දිනයට තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 113ක් ලබා සිටියේය.

පෙරේදා දිනයේ අර්ධ ශතකය වාර්තා කරගෙන සිටි කුසල් මෙන්ඩිස් ඊයේ කිසිදු ලකුණක් නොලබා දැවී ගිය අතර ඇන්ජලෝ මැතිව්ස් ද ඊයේ දිනයේ දී එක් ලකුණක් පමණක් එක් කරමින් ලකුණු දෙකකට දැවී ගියේ ශ්‍රී ලංකාව ඉමහත් අසීරුතාවයට පත් කරමිනි.

ලකුණු 116ට කඩුලු 4ක් දැවී ගිය ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පස්වැනි කඩුල්ලට ලකුණු 126ක සබඳතාවයක් ගොඩනැගීමට දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා සමත් වූ අතර චන්දිමාල් තම ටෙස්ට් දිවියේ 24 වැනි අර්ධ ශතකය එහිදී වාර්තා කර ගත්තේය.

චන්දිමාල්ගේ ඉනිම ලකුණු 62කට නිමා වූ අතර නිශාන් මදුශ්ක පන්දු 93කට මුහුණ දී ලකුණු 39ක් ලබා ගෙන සිටියදී කෙටි පන්දු හමුවේ කඩුලු පූජා කර හතරවෙනි පිතිකරුවා ලෙස දැවී ගියේය.

මදුශ්කට පෙර නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් ද කෙටි පන්දු හමුවේ දැවී ගියහ.

පන්දු 185ක් පුරා සිය ඉනිම ආරක්ෂා කර ගනිමින් ශතකය කරා පහසුවෙන් පිය නගමින් සිටි ධනංජය ද සිල්වා ඉතා අවාසනාවන්ත ලෙස ලකුණු 98 කට දැවී ගියේය. හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත් වූ අතර නවසීලන්ත ජය පමා කිරීමට ශ්‍රී ලංකා අවසන් පිතිකරුවෝ මහත් ප්‍රයත්නයක් දැරූහ.

එහිදී ඉතා ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූ කසුන් රාජිත පන්දු 110ක් පුරාවට පිතිකරණයේ යෙදෙමින් දවසේ අවසානය ආසන්නයටම ශ්‍රී ලංකා ඉනිම රැගෙන ආවේ ය.

පන්දු යැවීමේදී ටිම් සවුති සහ බ්ලෙයාර් ටින්කර් කඩුලු 3 බැගින් බිඳ හෙළද්දී මයිකල් බ්‍රේස්වල් කඩුලු 2ක් දවා ගත්තේය. තරගයේ වීරයා සම්මානය හෙන්රි නිකොලස්ටත්, තරගාවලියේ වීරයා සම්මානය කේන් විලියම්සන්ටත් හිමි වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment