ශ්‍රී ලංකාව පළමු ඉනිමේ වාසිය අතට ගනී

210

ශ්‍රී ලංකා හය වැනි කඩුල්ලට නායක දිමුත් කරුණාරත්න සහ උපනායක ධනංජය ද සිල්වා දියත් කළ ලකුණු 59ක නොබිඳුණු ලකුණු සම්බන්ධතාවය හේතුවෙන් පාකිස්තානය සමගින් ක්‍රියාත්මක දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට ඊයේ (26දා) තරගය නතර කර දමන විටදී ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබා සිටියේය. ඒ පළමු ඉනිමේ ලද වාසිය සමගින් පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 323ක් ඉදිරියෙන් පසුවෙමිනි.

ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 5ක් ලකුණු 117කට බිඳවැටී තිබියදී ආබාධයක් හේතුවෙන් අංක 6 පිතිකරුවා ලෙසින් පිටියට පැමිණි දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා සමගින් එක්වී ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීය. ඒ අනුව ඊයේ දිනට තරගය නතර කර දැමීමට තවත් පන්දුවාර 20ක් පමණ ඉතිරිව තිබියදී අයහපත් ආලෝක තත්ත්වය යටතේ තරගය නතර කරන විටදී නොදැවී පිටියේ රැඳී සිටි නායක දිමුත් ලකුණු 27ක් ලබා සිටි අතර උප නායක ධනංජය ලකුණු 30ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.

ලකුණු 147ක පළමු ඉනිමේ වාසිය සමගින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට පළමු ඉනිමේ මෙන් පහසුවෙන් ලකුණු ලබාගැනීමේ අවස්ථාව අවහිර කළ පාකිස්තාන පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පළමු කඩුල්ල මුළු ලකුණු 27දී බිඳ දැමීය. ඒ නායක දිමුත්ගේ ආබාධය හේතුවෙන් පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබා පැමිණි නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙසින් ලකුණු 15කට පිටියෙන් ඉවත් කරමිනි. යසීර් ෂා යොමුකළ තරගයේ පස්වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට කඩුලු රකින මොහොමඩ් රිස්වාන් අතට උඩපන්දුවක් ලබාදී නිරෝෂන් දික්වැල්ල නැවත ක්‍රීඩාගාරයට හැරී යද්දී පන්දු 25කට මුහුණ දී හතරේ පහර 2ක් එල්ල කර තිබිණි.

පළමු ඉනිමේදී අර්ධ ශතකයක් වාර්තා කළ ඕෂධ ප්‍රනාන්දුගේ ඉනිම ලකුණු 19කට සීමාකර දැමීමට යසීර් ෂා සමත්විය. ඒ අනුව මුළු ලකුණු 47දී ශ්‍රී ලංකා ඉනිමේ 2 වැනි කඩුල්ල අහිමිකර දැමූ පාකිස්තානුවෝ පළමු පන්දුවාර 10 අවසන් වෙද්දී පීඩනය ශ්‍රී ලංකාව දෙසට යොමු කිරීමට සමත් වී සිටියේය.

පළමු ඉනිමේදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යෑමකට හසු වූ කුසල් මෙන්ඩිස් ලකුණු 15ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට මොහොමඩ් නවාස් සමත්වීම මත ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු 59දී තෙවැනි කඩුල්ල අහිමිවී ගියේය.

අනතුරුව සිව්වැනි කඩුල්ලට පිටියට එකතු වූ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් සෙමින් සෙමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් එම කඩුල්ලට ලකුණු 41ක සම්බන්ධතාවයක් දියත් කිරීමට සමත්විය. ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 100 වාර්තා වෙද්දී අගා සල්මන් යොමුකළ පන්දුවක් මැතිව්ස්ගේ පිත්තේ යාන්තම් වැදී බාබර් අසාම්ගේ සුරතේ සිරවීම හේතුවෙන් මැතිව්ස් – චන්දිමාල් සම්බන්ධතාවය බිඳ වැටුණි.

ඒ අනුව සිය 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩාකළ ඇන්ජලෝ මැතිව්ස්ගේ දෙවැනි ඉනිම ලකුණු 35කට සීමා වෙද්දී පන්දු 62ක් තුළ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරකින් පාකිස්තාන පන්දු යවන්නන්ට සංග්‍රහ කිරීමටද මැතිව්ස් වගබලා ගත්තේය.

ඔස්ටේ්‍රලියානු සංචාරයේ සිටම ශ්‍රී ලංකාවේ ගැලවුම්කරුවා බවට පත්ව සිටි දිනේෂ් චන්දිමාල් ඊයේ දිනයේදී ඉක්මනින් නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට නසීම් ෂා සමත්වූයේ තරගයේ පාලනය පාකිස්තානය දෙසට හරවා දෙමිනි. ඒ අනුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 117ක් ලෙසින් සටහන්ව තිබියදී 5 වැනි කඩුල්ල ලෙසින් දිනේෂ් චන්දිමාල් ලකුණු 21කට පිටියෙන් ඉවත් වී ගියේය. දෙරට අතර තරගාවලියේදී දිනේෂ් චන්දිමාල්ට ඉනිම් 3කට පසු අර්ධ ශතකයක් අහිමි වූ පළමු අවස්ථාව ලෙසින් එය සටහන් විය.

දෙවැනි දිනට පෙරේදා (25දා) තරගය නතර කර දමන විටදී කඩුලු 7ක් දැවී ලකුණු 191ක් ලබා සිටි පාකිස්තාන පළමු ඉනිම ඊයේ දිනයේ දිවා භෝජනයට පෙර අවසන්කර දැමීමට ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් සමත්විය. 8 වැනි කඩුල්ලට පිටියට එක් වූ යසීර් ෂා සහ හසන් අලී ඊයේ උදෑසන ලකුණු 32ක සම්බන්ධතාවයක් පාකිස්තාන ඉනිමට ඒ අතරවාරයේ එක් කිරීමට සමත්විය. ඒ අනුව පාකිස්තාන පළමු ඉනිමේ ලකුණු පුවරුව 231ක් දක්වා ඉහළ දමා ගැනීමට ඔවුන්ට හැකියාව ලබිණි.

ශ්‍රී ලංකාව පළමු ඉනිමේ වාසිය අතට ගනී

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment