ශ්‍රී ලංකාව  පළමු ඉනිමේ වාසිය අතට ගනී  – චන්දිමාල්ගෙන් නොදැවුණු ශතක ඉනිමක්

234

දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන්  ගොඩනැඟුණු ලකුණු 133ක සම්බන්ධතාවය හේතුවෙන් ඔස්ටේ්‍රලියාව සමගින් ක්‍රියාත්මක දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවට පත් වනවිටදී ඊයේ (10 වැනිදා)  තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී සිටියේය. ඒ කඩුලු 6ක් දැවී මුළු ලකුණු 431ක් ලබා ගනිමිනි. ඒ අනුව ශ්‍රී ලංකාව තවත් කඩුලු 4ක් අතැතිව ඔස්ටේ්‍රලියා පළමු ඉනිමට වඩා ලකුණු 67ක් ඉදිරියෙන් පසුවේ.

දඟ පන්දු යවන්නන්ගේ පාරාදීයක් බඳු ගාල්ල තණ්තීරුවේදී ඔස්ටේ්‍රලියානු පන්දු යවන්නන් දිනය පුරා වෙහෙසට පත්කළ දිනේෂ් චන්දිමාල් ඊයේ දිනය නිමා වනවිටදී ලකුණු 118ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය. සිය 13 වැනි ටෙස්ට් ශතකයට හිමිකම් කියූ චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිමේ එක් අන්තයක් ආරක්ෂා කරමින් තරගයේ පළමු ඉනිමේ වාසිය ශ්‍රී ලංකාව දෙසට හරවා දීමේ පුරෝගාමියා බවට පත්විය. පන්දු 232කට මුහුණ දුන් චන්දිමාල් ඉන් එක් පන්දුවක් හයේ සීමාවෙන් එපිටට ද පන්දු 9ක් හතරේ සීමාවට ද යොමුකිරීමට සමත් වී සිටියේය.

චන්දිමාල්ට අනගි සහයෝගයක් ලබා දුන් කමිඳු මෙන්ඩිස් අනෙක් අන්තයේ රැඳෙමින් පන්දු 137කදී ලකුණු 61ක් රැස් කළේය. ඒ අනුව සිය පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් පළමු ඉනිමේදී වාර්තා කළ අර්ධ ශතකය ශ්‍රී ලංකා පිතිකරුවකු සිය පළමු තරගයකදී මුල් ඉනිමේ වාර්තා කළ පළමු අර්ධ ශතකය ලෙසින් සටහන් විය.

ඊයේ දිනයේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 85ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දවා ගැනීමට නේතන් ලයන් සමත්විය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව මෙන්ඩිස් දැවී යද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 186ක් ලෙසින් සටහන් වී තිබිණි.

මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා සිව්වැනි කඩුල්ලට පිටියට එක් වූ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ඔස්ටේ්‍රලියා දඟ පන්දු යවන්නන් පාලනය කරමින් දිනයේ වාසිය ශ්‍රී ලංකාව දෙසට හරවා දීමට සමත් වූහ. සිය 98 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩාකරන ඇන්ජලෝ මැතිව්ස් ඊයේ දිනයේදී සිය 38 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට සමත්විය. පන්දු 117ක් පුරා දිග හරුණු එම ඉනිමට තිත තැබූ ම්චෙල් ස්ටාර්ක් ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසින් ලකුණු 52ක් ලබා සිටි මැතිව්ස් පිටියෙන් ඉවත් කර දැමීය.

ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 83ක සම්බන්ධතාවයක් දිග හැරුණි.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ පිතිකරුවන් 5 දෙනකුම ලකුණු 50 සීමාව පසුකර ලකුණු ලබා ගැනීමට සමත් වූ අතර ඔස්ටේ්‍රලියාවට එරෙහිව ශ්‍රී ලංකාව එවැනි දක්ෂ කමක් සිදු කළ පළමු අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකාව  පළමු ඉනිමේ වාසිය අතට ගනී  - චන්දිමාල්ගෙන් නොදැවුණු ශතක ඉනිමක්

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment