ශ්‍රී ලංකාව පුරා ඩෙංගු අවදානම ඉහළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි

92

ඩෙංගු රෝගීන් 34419 ක් මෙම වසර තුළදී සොයාගත් බවත් පසුගිය දින 28 තුළ රෝගීන් 10213 ක් සොයාගත් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැසීය. ඉහළම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් සොයාගෙන ඇත.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවැසුවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉහළ රෝගීන් සංඛ්‍යාව වාර්තා වූ බවය. බස්නාහිර පළාතේ දෙහිවල, හෝමාගම, කොළොන්නාව, මහරගම, කොළඹ මහ නගර සභාව, අත්තනගල්ල, බියගම, මීගමුව, කැලණිය, වත්තල, කළුතර, පානදුර සහ බේරුවලත් මධ්‍යම පළාතේ මාතලේ, උකුවෙල සහ මාතලේ මහ නගර සභාව පාතදුම්බර, යටිනුවර, මහනුවර මහ නගර සභාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් ද ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබෙන බවත් පැවැසීය.

දකුණු පළාතේ ගාල්ල මහ නගර සභාව, උතුරු පළාතේ යාපනය මහ නගර සභාව, වයඹ පළාතේ වෙන්නප්පුව, කල්පිටිය, පුත්තලම , සබරගමුව පළාතේ බලංගොඩ, කුරුවිට, පැල්මඩුල්ල, රත්නපුර මහ නගර සභාව කෑගල්ල, රුවන්වැල්ල, මාවනැල්ල, නැගෙනහිර පළාතේ අක්කරෙයිපත්තුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් ද ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ අගයක පවතින බව පැවැසීය.

උණ සහ වේදනා සමනය කර ගැනීමට පැරසිටමෝල් හැර වෙනත් කිසිදු වේදනා නාශකයක් නොගන්නා ලෙසත් රෝග ලක්ෂණ ඇතිවූ වහාම වෛද්‍ය ප්‍රත්‍රිකාර සඳහා යොමුවිය යුතු බවත් අවධාරණය කළේය. ගැබිනි මව්වරුන් වයස අවුරුදු 01ට අඩු දරුවන් විවිධ සංකූලතා ඇති පුද්ගලයන් උණ රෝග ලක්ෂණ ඇතිවූ වහාම වෛද්‍ය ප්‍රත්‍රිකාර සඳහා යොමු වන ලෙසත් කම්පන තත්ත්වයෙන් පසුව ප්‍රත්‍රිකාර සඳහා යොමුවන රෝගීන්ගේ ජීවිත පිළිබඳ අවදානමක් ඇති බව ද එම ඒකකය පෙන්වා දුන්නේය.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කොට තම නිවාස පරිශ්‍රය අවට පිරිසිදුව තබා ගැනීමට උනන්දු වන ලෙස ද ඉල්ලීමක් කෙරේ.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment