ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ පරාජය වෙයි

279

ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ හොකී තරගාවලිය

රටවල් 09 ක සහභාගිත්වයෙන් තායිලන්තයේ බැංකොක් අගනුවර දී දැන් ක්‍රියාත්මක මීළඟ ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ හොකී තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා පිල මුහුණ දුන් දෙවන තරගයෙන් බංග්ලාදේශය හමුවේ පරාජය ලැබීමට ඊයේ (10) සිදු විය.

බංග්ලාදේශය ගෝල් 03 – 01 ක් ලෙස ජයග්‍රහණය සටහන් කර ගැනීමට සමත් වූ අතර ඔවුන්ට එරෙහිව තියුණු තරගයකට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා පිල සමත් වුවද එය පරාජයෙන් ගැලවීමට තරම් ප්‍රමාණවත් නොවිණි. මෙම තරගයේ ප්‍රථම කාර්තුව තුළ දෙපිලම සම දක්ෂතා ප්‍රදර්ශනය කළ ද දෙවන කාර්තුව අවසානයේ දී ගෝල් 02- 00 ක් ලෙස පෙරමුණ ගැනීමට බංග්ලදේශය ට හැකි විය.

එහෙත්, තෙවන කාර්තුව අවසන් වීමට මිනිත්තුවක කාලයක් තිබියදී ක්‍රියාත්මක වූ විපුල් ධනුෂ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සටහන් වූ එකම ගෝලය රැස් කළේය. ගෝල් 02 – 01 ක් ලෙස පෙරමුණේ සිටි බංග්ලාදේශය සිව්වන කාර්තුවේ දී තවත් ගෝලයක්

රැස් කරමින් ගෝල් 03 – 01 ක ජයග්‍රහණයක් සටහන් කර ගත්තේය.

මෙවර තරගාවලියට අවතීර්ණ වෙමින් ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය ගෝල් 05 – 02 ක් ලෙස ජය ගැනීමට සමත් වූ අතර එහිදී සිංගප්පූරුව පරාජයට පත්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය. ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර තරගය හෙට (12) පෙරවරු 11:30 ට ආරම්භ කිරීමට නියමිතය.

මෙතෙක් පැවති තරග ආශ්‍රිතව ‘ඒ’ කොටසේ පෙරමුණ ගැනීමට ඕමානය සමත් වී ඇති අතර උස්බෙකිස්ථානය දෙවැනි ස්ථානයේ පසු වේ. ‘බී’ කොටසේ පෙරමුණ බංග්ලාදේශයට හිමි වන අතර වාරයේ එහි දෙවැනි ස්ථානය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment