ශ්‍රී ලංකාව රිදී සහ ලෝකඩ  පදක්කම් 02 බැගින් දිනයි – දකුණු ආසියානු කනිෂ්ඨ ශුරතා මේස පන්දු තරගාවලිය

159

දකුණු ආසියානු මේස පන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් මාලදිවයිනේ මාලේ අගනුවර දී ක්‍රියාත්මක කෙරුණු දකුණු ආසියානු කනිෂ්ඨ ශුරතා මේස පන්දු තරගාවලියේදී රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට  ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

වයස අවුරුදු 19 න් පහළ බාලක සහ බාලිකා අංශයන්හි රිදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර වයස අවුරුදු 15 න් පහළ බාලක සහ බාලිකා ලෝකඩ පදක්කම් ද ශ්‍රී ලංකාව ට හිමි විය.

අවුරුදු 19 න් පහළ බාලක තරගාවලියේ දී නේපාලය වට 03 – 01 කින් ද, පාකිස්තානය වට 03 – 00 කින් ද, මාලදිවයින වට 03 – 00 කින් ද පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර බංග්ලාදේශය හමුවේ වට 03 – 02 ක් ලෙස පරාජයට පත්වීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමි විය.

අවුරුදු 19 න් පහළ බාලිකා මූලික වටයේදී බංග්ලාදේශයට එරෙහිව වට 03 – 01 ක ජයග්‍රහණයක් සටහන් කර ගත් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ දී මාලදිවයින පරාජය කරමින් ලත් 03 – 02 ක ජයග්‍රහණයත් සමඟින් අවසන් තරගයට වරම් ලබා ගැනීමට සමත් විය.

මූලික වටයේ දී ඉන්දියාව හමුවේ වට 03 – 00 කින් පරාජය වූ ශ්‍රී ලංකාව තීරණාත්මක අවසාන තරගයේ දී ද වට 03 – 01 ක් ලෙස පරාජය ලැබීය.

රිදී පදක්කම් ලාභී ශ්‍රී ලංකා අවුරුදු 19 පහළ බාලක කණ්ඩායම

චනුල් දුල්ෂාන්, ධනුෂ්ක විජේසිංහ, තිස්ස රංචාගොඩ සහ හිරුෂ වරුෂවිතාන නියෝජනය කළ අතර

අවුරුදු 19 පහළ බාලිකා කණ්ඩායම නියෝජනය කිරීමට

බීමන්දී බණ්ඩාර, අයිලා චිට්ටී, මනීෂා ශාලින්දී සහ සඳුනි ප්‍රබුද්ධිකා සමත් වූහ.

අවුරුදු 15 න් පහළ බාලක තරග ආශ්‍රිතව මාලදිවයින පරදා වට 03 – 00 ක ජයග්‍රහණයේ සටහන් කර ගත් ශ්‍රී ලංකාව ඉන්දියාව (03 – 00) ට සහ බංග්ලාදේශය

( 03 – 00) ට පරාජය විය.

පාකිස්තානය පරදා වට 03 -00 ක ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ බාලිකා පිල ප්‍රතිවාදී මාලදිවයින (03 – 01) ට හා නේපාලය (03 – 01) ට පරාජය වීම ද කැපී පෙනුණි.

ලෝකඩ පදක්කම් ලාභී අවුරුදු 15 න් පහළ

බාලක කණ්ඩායම

දෙව්මෙත් වීරසේන, ජනිත් බටුගෙදර සහ ඩිරාන් හාමර් සහ

බාලිකා කණ්ඩායම

ලෙසන්යා සෙතුමදී, ටමාදී කාවින්ද්‍යා සහ ඉමල්ෂා සෙව්මිණී යන අයගෙන් යුක්ත විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment