ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම අත්හිටුවයි !

328

ආර්ථික අගාධයෙන් ගොඩ ඒමේ අභියෝගය

අවුරුද්දෙන් පසු පෝලිම් නැතිවන ලකුණු..

රට මුහුණ දී සිටි ආර්ථික අර්බුදය හරි හැටි කළමනාකරණය කර ගැනීමට වත්මන් රජය අසමත් වීම් නිසා එය මේ වනවිට බලවත් දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වී ඇත. එසේම මේ වනවිට සමාජ අස්ථාවරත්වයක් ද ගොඩනැඟී ඇත. වත්මන් විනිමය අර්බුදයට මේ රජයට පෙර සිට ම හේතු සාධක තිබිය හැකිය. එහෙත් මේ ආර්ථික අර්බුදය මෙවන් මට්ටමකට වර්ධනය වීමට මෙන්ම ඒ නිසා ජනයා මුහුණ දුන් පීඩනය හමුවේ එය දේශපාලන සහ සමාජ අස්ථාවරත්වයක් දක්වා වර්ධනය වීමට ද මේ රජය වගකිව යුතු වේ. ජනාධිපතිවරයාට ලැබුණු වැරදි උපදෙස් මේ තත්ත්වයට හේතු වූවා විය හැකි නමුත් ඒ වගකීමෙන් මිදෙන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හෝ පොදුවේ මේ රජයට නොහැකිය. මේ නිසා රට මුහුණ දී සිටින ආර්ථික අභියෝගය ජය ගැනීම තවත් අභියෝගාත්මක වී ඇත. මේ වනවිට නව මහ බැංකු අධිපතිවරයෙක් , මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ මුදල් ඇමතිවරයෙක් පත්ව ඇත. මේ වනවිට ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන නියමුවන් වන්නේ මේ අයයි.

අපේ විදේශ ණය ගෙවීමේ හැකියාව මුළුමනින්ම පාහේ නැති වී ගොස් තිබේ. මේ නිසා දැන් අපට ඇති හොඳම විකල්පය වන්නේ කුමක් ද ? විදේශ විනිමය හිඟය හමුවේ අපට විදේශ ණය ගෙවීම සහ අත්‍යවශ්‍ය ආනයන සඳහා විදේශ විනිමය සපයාගැනීම යන දෙකම එකවර කිරීමට අපහසු තත්වයක් උද්ගත වී ඇත. මේ අනුව ඉකුත් අප්‍රේල් 12 වැනිදා ශ්‍රී ලංකා රජය ඓතිහාසික තීන්දුවක් ගත්තේය. ඒ අප්‍රේල් 12 වැනි දින සවස 5.00 සිට තාවකාලිකව විදේශ ණය නොගෙවා සිටීමට ය. එනම් අපේ විදේශ ණය සේවාකරණය අත්හිටුවීමටයි. මෙතෙක් ඉතිහාසයේ කිසිම දිනක ශ්‍රී ලංකාව මෙවැනි තීන්දුවක් ගෙන නැති අතර අප මෙතෙක් අඛණ්ඩව අපේ සියලුම විදේශ ණය ගෙවන ලදී. එහෙත් අපේ විදේශ ණය ගෙවීමේ හැකියාව නැති වී ඇති මොහොතක අප අපට ලැබෙන සියලුම විදේශ ලැබීම් එකතුකර විදේශ ණය ගෙවීමට යොදාගතහොත් වනු ඇත්තේ අපගේ මූලික අත්‍යවශ්‍ය ආනයන කිරීමට අපහසු වී ජනජීවිතය තවදුරටත් පීඩාවට පත් වීමයි. මේ නව තීරණයත් සමග දැනට අත්‍යවශ්‍ය ආනයනය සඳහා විදේශ විනිමය හිඟ වීමේ තත්ත්වය මඟ හරවා ගැනීමට හැකි වේ. ඒ තුළින් දැනට පවතින පෝලිම් ද ක්‍රමයෙන් නැති වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම අත්හිටුවීමේ මෙම තීරණය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වා අප්‍රේල් 12 වැනිදා රටට ප්‍රකාශයට පත් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමේ දී මෙසේ අපගේ විදේශ ණය ප්‍රතිව්‍යුහ ගතකර ගැනීමට අත්‍යවශ්‍ය වේ. හේතුව මේ වනවිට අපේ විදේශ ණය තිරසාර නොවන මට්ටමකට පත්ව තිබීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහා ද අපට අපේ විදේශ ණය තිරසාරභාවය නැවත ඇතිකර ගැනීමට සිදු වේ. මේ අනුව අප මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබාගැනීමේ අවශ්‍යතාව ඉටුකර ගැනීමේ විවිධ පියවරයන්ට මෙසේ යොමු වීමට සිදුවනු ඇති අතර මේ සම්බන්ධයෙන් එම විදේශ ණය හිමියන් සමග සාකච්ඡා කිරීමට ද රජය අපේක්ෂා කරයි. මේ විදේශ ණය එම ණය හිමියන් වෙත දැනුම් නොදී එකවර අප නොගෙවා සිටියහොත් ඇතිවන ප්‍රතිඵල ඉතා අහිතකරය. එසේ විදේශ ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇති වුවහොත් එය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට වඩා නරක තත්ත්වයකි. ඒ ඉතා නරක තත්ත්වයට රට පත්වීම වළක්වා ගැනීම සඳහා වඩා සුදුසු ම දේ මෙසේ අපේ විදේශ ණය ගෙවීම සඳහා එම ණය හිමියන් සමග සාකච්ඡා කර යම් එකඟතාවක් ඇතිකර ගැනීමයි. දැන් ඒ ක්‍රියාවලිය ආරම්භ කර ඇති නිසා බොහෝවිට අවුරුද්දෙන් පසු අත්‍යවශ්‍ය ආනයන සඳහා හිඟයකින් තොරව විදේශ විනිමය සපයනවිට මේ පවතින පෝළිම් ක්‍රමයෙන් අඩුවනු ඇතැයි සිතිය හැකිය. එවිට ජනයා මුහුණදෙන දුෂ්කරතා අවම වීමත් සමග මේ පවතින මහජන උද්ඝෝෂණ ද ක්‍රමයෙන් අඩු වී යනු ඇත. එහෙත් පෝළිම් නැති වුවත් එසේම මහජන පීඩාවන් නැති වුවත් දේශපාලන අරමුණින් කරන විරෝධතා දිගට ම තිබිය හැකිය. එසේම මේ ආර්ථික අර්බුදය සමනයකර ගැනීම සඳහා දේශපාලන ස්ථාවරත්වය සහ සමාජ ස්ථාවරත්වය ඇතිකර ගැනීම ද අත්‍යවශ්‍ය කරුණකි. ඒ සඳහා රජයේ, විපක්ෂයේ දේශපාලන පක්ෂවල මෙන්ම පොදුවේ මහජනයාගේ සහාය ද අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා මහ බැංකුව සහ රජය අනුගමනය කරන වැඩපිළිවෙළ හා සැලසුම් නිරන්තරයෙන් මහජනයාට දැනුම්දීම ද අත්‍යවශ්‍ය කරුණකි.

ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම අත්හිටුවයි !

ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මහින්ද සිරිවර්ධන යන දෙදෙනා ඉතා දක්ෂ සහ පළපුරුදු නිලධාරීන්ය. මේ බලවත් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ මෙහෙයුම සඳහා ඔවුන් දෙදෙනා ඉතා හොඳ නියමුවන් දෙදෙනෙක් බවට කිසිම සැකයක් නැත. ඔවුන් කඩිනමින් අවශ්‍ය නිසි තීන්දු තීරණ ගනිමින් සිටින බව ද පෙනේ. එය සතුටට කරුණකි.

මේ අනුව වහා ම දැන් රටේ තිබෙන ආර්ථික තත්ත්වය සහ ඉදිරි අවදානම ගැන ජනතාවට ඇත්ත කියා මේ ආර්ථික අගාධයෙන් රට ගොඩගැනීම සඳහා රටේ ජනයාගේ සහාය ගතයුතුව තිබේ. එසේම විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සහාය ද ගතයුතුව තිබේ. ජනයා ආර්ථික ප්‍රශ්නවලින් හෙබ්බත් වී පාරට බැස විරෝධතා කරනවිට ඒ ජනයාට හෝ ඒවා වාර්තා කිරීමට යන මාධ්‍යවේදීන්ට අමානුෂිකව අතපය කැඩෙන්නට පහර දීමෙන් ඵලක් නැත. අවශ්‍ය කරන්නේ මේ ප්‍රශ්න විසඳීමයි. ඒ බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය තේරුම් ගත යුතුය. දැන් ප්‍රමාද වී හෝ මේ බව තේරුම් ගෙන රජය තුළ පුළුල් වෙනස්කම් කරමින් සිටින බව පෙනේ. මේ අනුවම ප්‍රමාද වෙමින් ඇදී ගිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීමේ තීරණය තවත් ප්‍රමාද නොකර රටට සහ ලෝකයට නිශ්චිතව ප්‍රකාශ කර එම ක්‍රියාවලිය ඉතා වේගවත් කරගත යුතුව තිබේ. දනටමත් අප හොඳට ම ප්‍රමාද වී තිබේ. එහෙත් ආර්ථිකය මෙහෙයවන නව නියමුවන් මේ ක්‍රියාවලිය වේගවත් කරගෙන තිබේ. මේ අනුව අපට ඉදිරිය ගැන සුබවාදී අපේක්ෂා ඇතිකරගත හැකිය.

ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම අත්හිටුවයි !

මේ බරපතළ විනිමය අර්බුදය අපේ ආර්ථික බලධාරීන් විසින් මෙතෙක් සැහැල්ලුවෙන් ගත්තේය. මේ නිසා ප්‍රශ්න උග්‍ර වී අපට තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගෙන මේ ප්‍රශ්නය විසඳා ගැනීමට අපහසු තත්ත්වයක් උද්ගත විය. දැන් වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීමට සාකච්ඡා ආරම්භ කර තිබේ. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ නායකත්වයෙන් මේ කාර්යය ඉතා කඩිනම් වී ඇත. මේ අතරම මුලින් සඳහන් කළ පරිදි රජය විසින් විදේශ ණය ගෙවීම අත්හිටුවීම නිසා අත්‍යවශ්‍ය ආනයන සඳහා විදේශ විනිමය සපයා ගැනීමේ ගැටලුව සමනය වනු ඇත. එසේ නොකළා නම් වන්නේ ඩොලර් හිඟය තවත් වැඩි වී දැන් තිබෙන තෙල් හිඟය සහ විදුලි කැපිල්ලේ තත්ත්වය වාඩාත් උග්‍ර වී ජනයා තවත් පීඩාවට පත් වීමයි. මේ අනුව දැන් ප්‍රමාද වී හෝ සිදුවෙමින් පවතින වෙනස්කම් අනුව අපට ඉදිරිය ගැන සුබවාදී අපේක්ෂා දල්වාගත හැකි තත්ත්වයක් තිබේ. ඉදිරියේ දී තවත් බොහෝ දැඩි තීන්දු තීරණ ගනු ඇති බව ද අපට අපේක්ෂා කළ හැකිය. දේශපාලන පක්ෂ මෙන්ම පොදු ජනතාව ලෙස අප ද මේ සඳහා සහාය දක්වමින් ඉවසීමෙන් සිටීමට සිදුවනු ඇත. එසේ නැතහොත් මේ බලවත් ආර්ථික හා විනිමය අර්බුදය විසඳා ගැනීමට ගතවන කාලය තවත් වැඩි වනු ඇත. ඒ අනුව අපට මේ විනිමය අර්බුදයෙන් විඳවීමට සිදුවන කාලය ද තවත් වැඩිවනු ඇත. අලුතින් පත් වූ ආර්ථික බලධාරීන්ට කළ හැක්කේ නිසි තීන්දු තීරණ ගැනීමයි. මේ රජය යටතේ පසුගිය කාලයේ සිදු නොවූයේ ද එයමය. මේ නරක තත්ත්වයට අපේ ආර්ථිකය පත්වීම ගැන අප මෙතෙක් ඕනෑ තරම් හේතු සාකච්ඡා කර ඇත. කෙසේ හෝ අවශ්‍ය කරන්නේ දැන් හෝ හරි තීන්දු තීරණ ගෙන මේ ආර්ථික අගාධයෙන් ගොඩ ඒමයි. එය කළ හැක්කේ සාමූහික ප්‍රයත්නයකින් සියලු පාර්ශ්වයන්ගේ සහාය ඇතිව බව ද කිව යුතුය. ඒ නිසා දැන්වත් දේශපාලන පම්පෝරි, ලොකු කතා කියන එක මදකට හෝ නවතා ආණ්ඩුවේ දේශපාලනඥයන් ද මේ කාලයේ ඉතා වගකීමෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment