ශ්‍රී ලංකාව වෙලිංන්ටන් හිදී අද මහමෙර තරණයේ

128

නවසීලන්තයේ වෙලින්ටන් හි පිහිටි ‘බේසින් රිසව්’ ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තණතීරුව සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද (20 වැනිදා) මහමෙර මෙන් දිස්වනු ඇත.

කඩුලු 8ක් ඇතැතිව සිටින ඔවුහු ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 303 ක් සොයමින් සිටින අතර ඊට අමතරව නවසීලන්තයට තව ඉලක්කයක් ද ලබා දිය යුතුය.

වෙලිංටන් හිදී මීට වසර 5කට පෙර විශිෂ්ට ශතක වාර්තා කරමින් දිනය පුරා පන්දුවට පහරදී එකී තරගය ජය පරාජයෙන් තොරව නිමා කරන්නට සමත් වූ කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමට එහිදී තිබෙන ප්‍රධාන බලාපොරොත්තුවකි.

ඊයේ (19 වැනිදා) දිනය සඳහා තරගය නිමා වෙද්දී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 50ක් ලබා සිටි අතර පන්දු හතළිහක් පුරා එක් ලකුණක් පමණක් ලබා ඇන්ජලෝ මැතිව්ස් අනෙක් අන්තයේ නොදැවී රැඳී සිටියේය.

තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (19) නිමා වෙද්දී දෙවැනි වරටත් නවසීලන්ත ඉනිම පසුපස හඹා යෑමට සිදු වූ ශ්‍රී ලංකාව ඒ වන විට කඩුලු දෙකක් දැවී ලකුණු 113ක් ලබා සිටියේය.

නායක දිමුත් කරුණාරත්න දෙවැනි ඉනිමේදී ලකුණු 51 ක් ලබා ගත් අතර තරගාවලිය පුරාම අසාර්ථක වූ ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු ලකුණු 05 කට දැවී ගියේය.

ඊයේ තරගය ඇරඹෙන විට නවසීලන්තය ලබාදුන් ලකුණු 580ක අභියෝගය පසුපස හඹා යමින් සිටි ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 26ක් ලබා සිටි අතර දිනය ඇරඹී පන්දු වාර 2ක් අවසන් වනවිටම ප්‍රභාත් ජයසූරිය දැවී ගිය අතර ඇන්ජලෝ මැතිව්ස්ට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටින්නට හැකිවූයේ නැත.

ඉන්පසු දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක සබඳතාවයක් ගොඩනැඟු අතර චන්දිමාල්ව දවාගත් මයිකල් බ්‍රේස්වල් නැවතත් ක්‍රියාත්මක වෙමින් ධනංජය ද සිල්වා ලකුණු ලබා ගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට සමත් වූයේය.

තම මංගල තරගයට ක්‍රීඩා කරන නිශාන් මදුශ්ක ලකුණු 19ක් ලබාගත් අතර ඉනිමේ එකම සාර්ථක ක්‍රීඩකයා ලෙස නායක දිමුත් කරුණාරත්න ලකුණු 89ක් රැස් කළේය. පන්දු 188කට ඒ සඳහා මුහුණ දී තිබුණු දිමුත් හතරේ පහර 9කින් තම ඉනිම අලංකාර කර ගත්තේය.

කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් නවසීලන්තය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩනංවනු ලැබීය.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලකුණු 363 ක සම්බන්ධතාව නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ තෙවැනි කඩුල්ලක් වෙනුවෙන් දෙවැනි හොඳම සහ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වූ සිව්වැනි ඉහළම සම්බන්ධතාව ලෙසින් සටහන් විය.

කෙසේ වෙතත් නවසීලන්ත ටෙස්ට් තරග ඉතිහාසයේ පිතිකරුවන් යුගලක් එකම ඉනිමකදී ද්විත්ව ශතක වාර්තා කරන ලද පළමු අවස්ථාව ලෙසින්ද අද තරගය ඉතිහාසයට එක් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් අතැතිව පළමු ඉනිමේදී ලකුණු 554 ක් පසුපසින් සිටියදී දෙවැනි දිනය නිමා වූ අතර ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 164 කට සීමා වූයේ පිතිකරුවන්ගේ අපරික්ෂාකාරී බව නිසාමය.

නවසීලන්තය පළමු ඉනිම කඩුලු 4ට ලකුණු 580 යි – (කේන් විලියම්සන් 215, හෙන්රි නිකොලස් 200, ටොම් ලේතම් 21, ඩෙවෝන් කොන්වේ 78, ඩැරල් මිචෙල් 17, ටොම් බ්ලන්ඩල් 17, කසුන් රාජිත 126/2, ධනංජය ද සිල්වා 75/1, ප්‍රභාත් ජයසූරිය 86/1)

ශ්‍රී ලංකා පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 164 යි – (දිමුත් කරුණාරත්න 89, දිනේෂ් චන්දිමාල් 37, නිශාන් මදුශ්ක 19

මයිකල් බ්‍රේස්වල් 66/3, මැට් හෙන්රි 50/3

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 113/2

කුසල් මෙන්ඩිස් නොදැවී 50, දිමුත් කරුණාරත්න 50

advertistmentadvertistment
advertistmentadvertistment