ශ්‍රී ලංකාව සුපිරි 12 වටය – සුපිරි ජයකින් අරඹයි

237

පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් සහ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් අඛණ්ඩව වාර්තා කළ දෙවෙනි අර්ධ ශතකයේ ශක්තියෙන් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ ප්‍රථම තරගයෙන් අයර්ලන්තයට එරෙහිව ඊයේ (23 වෙනිදා) කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගත්තේය.

තරගයේ කාසියේ වාසිය දිනා අයර්ලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් ඔවුන්ගේ ඉනිම ලකුණු 128 කට සීමා කිරීමට සමත් වූ අතර ශ්‍රී ලංකාව පන්දුවාර පහළොවක් තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

සුපිරි 12 වටය යටතේ පළමු කාණ්ඩයෙන් තරග බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර පහළොවක් තුළදී ලබාගත් එම ජයග්‍රහණය හේතුවෙන් ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ ලබාගැනීමේ වේගය 2.467 දක්වා ඉහළට පැමිණියේය.

සුපිරි 12 වටය යටතේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ඉහළින්ම සිටින නවසීලන්තයේ එම අගය දැක්වෙන්නේ 4.450ක් ලෙසය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අඛණ්ඩව දෙවැනි තරගයේදීත් අර්ධ ශතකයක් වාර්තා කර දෙවැනි වරටත් අඛණ්ඩව තරගයේ වීරයා බවට පත්වූ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 68ක් ලබා ගත් අතර තරගය අවසාන කිරීම සඳහා එම පන්දුවාරයේ එල්ල කළ හයේ පහර දෙකක් ඇතුළුව හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් තම ඉනිමට එකතු කර ගත්තේය.

ඔහුගේ සුපුරුදු ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මෙම තරගයට ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට ආරම්භක පිතිකරුගේ කාර්යභාරය මැනවින් ඉටු කළ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සමග එකතු වූ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ල සඳහා ලකුණු 63ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

පවර් ප්ලේ අවස්ථාව නිමා වන විට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 50 ක් ලබා ගෙන සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ පහසු ජයග්‍රහණයක් කරා කණ්ඩායමට මනා අඩිතාලමක් ලබා දුන්හ.

ධනංජය ද සිල්වා ලකුණු 31ක් ලබා ගත් අතර ඊට හතරේ පහර දෙකක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. ධනංජයගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි චරිත් අසලංක සමග එකතු වූ කුසල් මෙන්ඩිස් ඉක්මන් ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ගිය අතර දෙදෙනා අතර පන්දු හතළිහක් තුළ  ගොඩනැගුණු නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 70ක් ලෙස දිස් විණි.

චරිත් අසලංක ද නොදැවී ලකුණු 31ක් ලබා ගත් අතර අයර්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ හැරී ටෙක්ටර් ලකුණු 45ක් ද පෝල් ස්ටර්ලින්ග් ලකුණු 34ක් ද  රැස් කළහ.

අයර්ලන්තයේ සෙසු පිතිකරුවන් ට ස්ථාවර වීමට ඉඩක් ලබා නොදුන් වනිදු සහ මහීෂ් ප්‍රමුඛ දඟ පන්දු බල ඇණියද තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ද වේග පන්දු යවන්නන් ලෙස බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ චාමික කරුණාරත්න ද ශ්‍රී ලංකා පන්දු යැවීම වෙනුවෙන් අගනා කාර්යභාරයක් ඉටු කළහ.

සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන ඊළඟ තරගය හෙට (26 වෙනිදා) ඔස්ටේ්‍රලියාව සමග පස්වරු 4.30ට පැවැත්වේ.

ලකුණු සාරාංශය

අයර්ලන්තය 128/8 (20)

හැරී ටෙක්ටර් 45, පෝල් ස්ටර්ලින්ග් 34

පන්දු යැවීම

මහීෂ් තීක්ෂණ 19/2, වනිඳු හසරංග 25/2, චාමික කරුණාරත්න 24/1, බිනුර ප්‍රනාන්දු 27/1, ධනංජය ද සිල්වා 13/1, ලහිරු කුමාර 12/1

ශ්‍රී ලංකාව

133/1 (15)

කුසල් මෙන්ඩිස් නොදැවී 68, චරිත් අසලංක නොදැවී 31, ධනංජය ද සිල්වා 31

පන්දු යැවීම ගරෙත් ඩෙලානි 28/1

කසුන් රණවීර ඔස්ටේ්‍රලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment