ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට යෑමත් අවිනිශ්චිත තත්ත්වයක

492

ඇමෙරිකාවේ තණතිලිවල පන්දුවට පහරදීමට අපහසුයි – වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර
අපේ ක්‍රීඩකයන් පරාජයෙන් කලකිරීමට පත්ව ඉන්නවා

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු  මහින්ද හලංගොඩ

ඇමෙරිකාවේ තණතිලිවල පිතිකරුවන්ට පහරදීමට අමාරු බවත්, බලාපොරොත්තු නොවන ආකාරයෙන් පන්දුව පහළින් එන අතර, ඇතැම් විට නොසිතන පරිදි ඉපිලීමක් ඇතැයි ශ්‍රී ලංකා වේග පන්දු යවන නුවන් තුෂාර පැවැසීය.

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී පෙරේදා (8දා) පැවැති ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී නුවන් තුෂාර මේ බව පැවැසීය.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඩී’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට එරෙහි තරගයේදී කඩුලු 2කින් පරාජයට පත් වුවද, නුවන් තුෂාර බංග්ලාදේශ පිතිකරුවන්ට අවසන් මොහොත දක්වාම පීඩනය එල්ල කරමින් කඩුලු 4ක් බිඳහෙළීමට සමත් වූවේය.

“ඇමෙරිකාවේ අපි මුහුණ දුන් තණතිලි වෙනස්. ඇත්තටම අපිට තවත් ලකුණු 20ක් 30ක් අඩු වුණා. මා අවසන් වරට ක්‍රීඩා කළ ඉන්දියාවේ තණතීරුවලට වඩා ගොඩක් වෙනස්. ඉන්දියාවේ තණතිලිවල ලකුණු තියෙනවා. පන්දු යවන්න අමාරුයි. මා අයිපීඑල්වලින් ඉගෙන ගත් දෙයින් මේ වගේ ලෝක මට්ටමේ තරගවලදී පීඩනය හසුරුවා ගන්න පහසු වුණා” නුවන් තුෂාර පැවැසීය.

එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල පිතිකරණ විලාසයක් පෙන්නුම් කරමින් කඩුලු 9 ක් දැවී ලකුණු 124 ක් පමණක් රැස්කළ අතර බංග්ලාදේශය එක් පන්දු වාරයක් සහ කඩුලු දෙකක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියේය.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති පළමු තරගයෙන් ද පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඒ අනුව සුපිරි අට වටයට පිවිසීමද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව සිටී.

තරගයෙන් අනතුරුව පැවැති එම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු මහින්ද හලංගොඩ මහතා ද සහභාගි විය. මාධ්‍යවේදීහු හලංගොඩ මහතාගෙන් ද ප්‍රශ්න විමසූහ.

“පරාජයට හේතුව තව ලකුණු 20ක් 30ක් විතර අපේ පිතිකරුවන් එක් නොකිරීම බව පිළිගන්නවා. හැබැයි මේ පිතිකරුවන් බංග්ලාදේශ සංචාරයේදී හොඳින් කළා. මේ තණතීරුවල පැහැදිලි වෙනසක් තියෙනවා. නමුත් ඒක නිදහසට කරුණක් නොවෙයි. අපේ පිතිකරුවන් ඒකට හුරුවන්න ඕනේ. ලකුණු මදි බව මා පිළිගන්නවා” හලංගොඩ මහතා පැවැසීය.

“ඇමෙරිකාවේ දේශගුණය හා තණතිලි සම්පූර්ණයෙන් වෙනස් නිසා අපි ඇමෙරිකාවට කලින් ආවා. නමුත් අවාසනාවට අපට නිසි පරිදි පුහුණුවීම් කරන්න බැරි වුණා. වැස්ස ආවා. ඒ වගේම තණතිලි හොඳ තත්ත්වයේ තිබුණේ නෑ. අපිට හොඳ තත්ත්වයේ තණතිලි සොයන්න වුණා. ඒ නිසා මෙහෙම වුණා කියන්නේ නෑ. හැබැයි ඇමෙරිකාවේ වාර්තා අරන් බැලුවාම පේනවා මේ තණතිලිවල ලකුණු නෑ කියලා. පිතිකරුවන් උපරිම තත්ත්වයට අනුගත විය යුතුයි. ලකුණු පුවරුවේ අපට හොඳ ලකුණු එකතුවක් නැතිනම් පන්දු යවන්නන්ට අපහසුයි”

“පුහුණුවීම සඳහා හොඳ තණතිලි හොයා ගන්න බැරි වුණා. අපි ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සම්බන්ධ කර ගත්තා. ඇත්ත වශයෙන්ම සියලු ක්‍රීඩා පිටි සම්පූර්ණයෙන් වෙන්කර තිබුණා. අපි එක්සත් ජනපද කණ්ඩායම සමග පුහුණු තරග කිහිපයක් පවත්වන්න උත්සාහ කළා. අවාසනාවකට එයත් අපහසු වුණා”

“අපේ නරඹන්නන්ට කියන්න තියෙන්නේ අපේ ක්‍රීඩකයන් පැහැදිලිවම ඉතා කලකිරීමට පත් වී ඇති බව මට පෙනුණා. නමුත් මට විශ්වාසයි අපේ පුහුණුකරුවන් සියලු දෙනාම ඔවුන් සමග කතා කරයි. මේ පරාජය පිළිබඳව අපි ඉතා කනගාටු වෙනවා. නමුත් අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා අඩුම තරමින් මීළඟ තරග දෙකේදීවත් අපි මීට වඩා හොඳින් ක්‍රීඩා කරයි කියලා” මහින්ද හලංගොඩ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය යටතේ මුහුණ දෙන මීළඟ තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් අනිද්දා (12 වැනිදා) පෙ.ව. 5.00 ට නේපාලය සමග පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment