ශ්‍රී ලංකාව හෙට පාකිස්තානය සමඟ අවසන් පූර්ව සටනට

300

තායිලන්තය පළමු වරට අවසන් හතරට

පකිස්තානය සමග ඊයේ (11වැනිදා) පැවති තරගයෙන් කඩුලු 5ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව තරඟ වටය යටතේ හෙට (13 වෙනිදා) නැවත වතාවක් පාකිස්තානය සමග තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් පූර්ව තරගය හෙට පස්වරු 1.00ට ආරම්භවීමට නියමිත අතර අනෙක් අවසන් පූර්ව තරගය ලෙස ඉන්දියාව සහ තායිලන්තය අතර තරඟය හෙට පෙ.ව. 8:30 ට ආරම්භ වීමට නියමිතය.

මෙවර තරගාවලියේ ලීග වටය යටතේ පැවති අවසාන තරගය ඊයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පකිස්තානය අතර පැවැති තරගය විය.

එම තරඟයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 112ක් ලබා ගත් අතර පාකිස්තානය පන්දුවාර 18 යි පන්දු පහක් තුළදී කඩුලු 5ක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ නායිකා චමරි අතපත්තු පන්දු 26 කදී ලකුණු 41ක් ලබා ගත් අතර ඊට හතරේ පහර 9ක් ඇතුළත් විය.

චමරිගේ එම වේගවත් ඉනිම හේතුවෙන් පළමු පන්දුවාර 7 නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 58ක් ලබාගෙන සිටි අතර ඇයගේ දැවී යෑමෙන් පසු ලකුණු ලබා ලබාගැනීමේ වේගය මෙන්ම ශ්‍රී ලංකා ඉනිම ද අඩපණ වූයේය.

චමරිට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩිකාව වූයේ පන්දු 29 කදී ලකුණු 26ක් ලබාගත් ඕෂධී රණසිංහයි.

ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමූ ඔමයිමා සොහාලි ලකුණු 13 කට කඩුලු 5 ක් ලබාගත් අතර ටුබා හුසේන් කඩුලු දෙකක් ලබා ගත්තාය.

ජයග්‍රහණය හඹා ගිය පකිස්තානය වෙනුවෙන් නිදාදාර් නොදැවී ලකුණු 26ක් ද අයේෂා නසීම් නොදැවී ලකුණු 16ක් ද ලබා ගත්තාය.

මෙවර අවසන් පූර්ව තරග සඳහා එක් වූ තායිලන්ත කණ්ඩායම ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව බවට මෙම අවස්ථාව පත් වූයේය.

මෙවර තරගාවලියේ තරග හයකට සහභාගී වූ තායිලන්ත කාන්තා කණ්ඩායම ඉන් තරග තුනක් ජයගෙන ප්‍රසාද ලකුණු හයක් හිමි කරගෙන 4 වෙනි ස්ථානයට ශ්‍රේණිගත වීමට සමත් වූයේය.

බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අතහැර දැමීමට සිදුවීමෙන් බංග්ලාදේශයට අවසන් පූර්ව තරග සඳහා ප්‍රවේශ වීමට තිබූ අවසන් අවස්ථාවද ගිලිහී ගියේය.

එම තරඟය ජයග්‍රහණය කළේ නම් බංග්ලාදේශයට අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසීමට හැකියාව තිබූ අතර බංග්ලාදේශය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගිය වර ජයග්‍රහකයන් මෙන්ම සත්කාරක දේශය ද වේ.

ඉන්දියාව සහ පාකිස්ථානය තරග හයකට සහභාගී වී ඉන් තරඟ 5 බැගින් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවන ස්ථාන හිමි කරගෙන ඇති අතර ඔවුන්ට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10 කි.

ශ්‍රී ලංකාව එම සටහනේ තුන්වන ස්ථානයේ පසුවන අතර තරග 6කට සහභාගි වූ ශ්‍රී ලංකාව තරග හතරක් ජයගෙන ප්‍රසාද ලකුණු 8ක් හිමි කරගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment