ශ්‍රී ලංකාව 100 වැනි ජය ලබා ආසියාවේ වාර්තාවක් තබයි

4029

1982 වසරේ දී එංගලන්තයට එරෙහිව මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (28 වැනිදා ) සිය 311 වෙනි ටෙස්ට් තරගයේදී සිය 100 වැනි ජයග්‍රහණය ලබා ගත්තේය.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අයර්ලන්තය කණ්ඩායම ඉනිමක සහ ලකුණු 10 ක පරාජයකට ඇද දැමූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම විජයග්‍රහණය අත්පත් කර ගත්හ.

මෙම ජයග්‍රහණයත් සමග අවම ටෙස්ට් තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කරමින් ටෙස්ට් ජයග්‍රහණ 100 ක් ලද ආසියානු කණ්ඩායම බවටද ශ්‍රී ලංකා කණ්ඩායම පත්විය. මෙතෙක් ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග අතරින් තරග 119 ක් පරාජයට පත්ව තිබෙන අතර 92 ක් ජය පැරදුමෙන් තොරව අවසන් ව තිබේ.

එසේම ලොව අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකට සහභාගි වෙමින් කඩුලු 50 ක් දවා ගත් දඟ පන්දු යවන්නා ලෙසින් ප්‍රභාත් ජයසූරිය ලෝක වාර්තාවක් තැබීමට ද ඊයේ සමත් වූයේය.

ශ්‍රී ලංකාව 100 වැනි ජය ලබා ආසියාවේ වාර්තාවක් තබයි

ජයසූරිය ලෝක වාර්තාවක් පිහිටුවද ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 212 ක් ලබා ගැනීමේ අභියෝගය කර පින්නාගෙන පිටියට පිවිසි අයර්ලන්ත පිලට වැඩිම හානියක් සිදුකරන ලද්දේ රමේෂ් මෙන්ඩිස් විසිනි. දැවී ගිය කඩුලු 10 න් කඩුලු 5 ක් රමේෂ් මෙන්ඩිස්ගේ නමින් සටහන් වද්දී වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් බිඳ හෙළීය.

මොවුන් තිදෙනාගේ දක්ෂ පන්දු යැවීම නිසා අයර්ලන්ත දෙවැනි ඉනිම ලකුණු 202 දී නිමාවට පත්විය. ලකුණු 161 දී 8 වැනි කඩුල්ල බිඳ වැටුණද මැතිව් හම්ප්‍රිස් සමග එක් වුණු හැරී ටෙක්ටර් අයර්ලන්ත පිල වෙනුවෙන් ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කරමින් සිටියදී අසිත ප්‍රනාන්දු පිට පිටම යවන ලද යෝකර් පන්දු දෙකකින් එතෙක් වෙලා පන්දුවට පහර දෙමින් සිටි ටෙක්ටර් සහ බෙන් වයිට්ගේ කඩුල් දවා ගත්තේය.

වේගපන්දුවේ වගකීම භාර ගත් අසිත ප්‍රනාන්දු නායකයාගේ වගකීම අකුරටම ඉටු කරමින් අයර්ලන්ත පිතිකරුවන්ව තැති ගැන්මකට ලක් කරමින් පන්දු යැවීම කැපී පෙනිණ.

වේගය මුසු බවුන්සර් පන්දු මෙන්ම යෝකර් පන්දු වලින් ගහන වූ අසිතගේ එක් පන්දුවක් නායක බැල්බර්නිගේ හිස් ආවරණයේ වැදීම නිසා ඔහුට පිටියෙන් ඉවත් වීමට පවා සිදු වූයේ ය.

බැල්බර්නිගේ තාවකාලික නික්ම යෑමෙන් පිටියට පිවිසි පළමු ඉනිමේදී ශ්‍රී ලංකාවට හිසරදයක් වූ පෝල් ස්ටර්ලිංග්ට පිටියේ රැඳී සිටීමට අවස්ථාව උදාවූයේ පන්දු 5 ට පමණි. ජයසූරියගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් රැක ගත් විශිෂ්ට උඩ පන්දුව හේතුවෙන් ස්ටර්ලිංග්ට පිටියෙන් ඉවතට යෑමට සිදුවිය.

මෙම කඩුල්ල දවා ගැනීමට සමත්වීමත් සමඟ ලොව වේගයෙන්ම කඩුලු 50 පසුකර ගිය දඟ පන්දු යවන්නාගේ ලෝක වාර්තාව සියතට ගැනීමට ප්‍රභාත් ජයසූරියට හැකියාව ලැබිණ. සිය 7 වැනි ටෙස්ට් තරගයේදී ප්‍රභාත් එම දක්ෂතාව දක්වද්දී ඊට වසර 71 කට පෙර බටහිර ඉන්දීය කොදෙව් පිල නියෝජනය කළ ඇල්ෆ් වැලන්ටයින් එම වාර්තාවේ පැරැණි හිමිකරු වූවේය.

වමතින්ම දඟ පන්දු යැවූ වැලන්ටයින් එම කඩුලු 50 බිඳ දැමීම සඳහා තරග 8 කට ක්‍රීඩා කර තිබිණ. මෙහි සමස්ත වාර්තාව ජයසූරියට සංසන්දනය කරන කල්හි ඔහු එහි දෙවැනි තැන සිට ගනියි. ජයසූරියට ඉදිරියෙන් පසුවන ඔස්ටේ්‍රලියානු පිල නියෝජනය කරන ලද වේග පන්දු යවන්නකු වන චාලි ටර්නර් කඩුලු 50 දවා ගෙන ඇත්තේ ටෙස්ට් තරග 6 කට සහභාගි වෙමිනි.

අනතුරුව ලෝකන් ටකර් (13) සහ කර්ටිස් කැම්පර් (12) ඉනිම ගොඩ නැගීමේ කාර්යයක නිරත වුවද දිවා භෝජනයට පෙරම ඔවුහු දැවී ගියහ.

තරගයේ වීරයා සම්මානය කඩුලු හතක් දවාගත් ප්‍රභාත් ජයසූරියටත්, තරගාවලියේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස්ටත් හිමි වූයේය.

ලකුණු සාරාංශය

අයර්ලන්තය පළමු ඉනිම 492/10

ශ්‍රී ලංකාව පළමු ඉනිම 703/3

දිමුත් කරුණාරත්න 116, කුසල් මෙන්ඩිස් 245, නිශාන් මධුශ්ක 205, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 100

අයර්ලන්තය දෙවෙනි ඉනිම 202/10

හැරී ටෙක්ටර් 89

රමේෂ් මෙන්ඩිස් 64/5

අසිත ප්‍රනාන්දු 30/3

ප්‍රභාත් ජයසූරිය 88/2

advertistmentadvertistment
advertistmentadvertistment