ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන පළමු සටන අද

265

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය අද (25 වැනිදා) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීම තරගයේ පාලනය ලබා ගැනීම සඳහා ඉවහල් වනු ඇති බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව සහභාගිවන පළමු ජාත්‍යන්තර තරගය වන මෙය 2023 ලෝක කුසලාන තරගාවලියේ ලීග තරගාවලිය යටතේ පැවැත්වේ.

ශ්‍රී ලංකා සීමිත පන්දු වාර කණ්ඩායම සඳහා කලකට පසුව දිනේෂ් චන්දිමාල් ද කැඳවා ඇති අතර අද තරගය සඳහා ඔහු බොහෝ දුරට ක්‍රීඩා කිරීමට නියමිතය.

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මෙම සංචිතය සඳහා කැඳවා නැති අතර මැදපෙළ පිතිකරු භානුක රාජපක්ෂ ද පෞද්ගලික හේතුවක් මත මෙම තරගාවලියෙන් තමා විවේක ගන්වන ලෙස ඉල්ලීමක් කර ඇත.

තරගය පිළිබඳ ශ්‍රී ලංකා නායකයා මෙසේ අදහස් දැක්වීය.

“අද තරගය සහ මෙම තරගාවලිය සඳහා අපි හොඳ සූදානමක ඉන්නවා. අපි කොළඹදී තමයි පුහුණුවීම් පටන් ගත්තේ. ඉතිං කණ්ඩායමක් ලෙස අපි සති එකහමාරක විතර කාලයක් තිස්සේ පුහුණුවීම් වෙනවා. ක්‍රීඩකයෝ ඔවුන්ගේ රිද්මයට පැමිණිලා තියෙනවා. පිතිකරණයෙත් පන්දු යැවීමෙත් පන්දු රැකීමෙනුත් හොඳ තරගාවලියක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

පන්දු වාර විස්සයි විස්ස තරගවලින් එක්දින තරග සඳහා පරිවර්තනය වීමට අපේ ක්‍රීඩකයන්ට හැකියාව තියෙනවා. අනිවාර්යෙන්ම ක්‍රීඩකයෝ සුපුරුදු දක්ෂතාවයට එයි. තරගාවලිය ජයග්‍රහණය කරන්න අපිට හැකියාව තියෙනවා කියලා මම විශ්වාසය තියෙනවා.

දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට ඇතුළත් කිරීම පිළිබඳව නායක දසුන් මෙසේ අදහස් දැක්වීය.

පසුගිය ඔස්‌ට්‍රේලියානු තරගාවලියේදී ඔහු අපිත් එක්ක හිටපු ක්‍රීඩකයෙක්. ධනංජය ලක්ෂාන් තමයි ආදේශකයක් විදියට පැමිණියේ. ඔහුගේ සහභාගිත්වයත්
දැකගන්න පුළුවන් වෙයි තරගාවලිය තුළදී.

මම හිතන්නේ අද ක්‍රීඩා කරන කණ්ඩායම් ගත්තොතින් කිසිම කණ්ඩායමක් අවතක්සේරු කරන්න බැහැ.

විශේෂයෙන්ම රශීඩ් ඛාන්ව ගත්තොතින් අපි පසුගිය තරගාවලි දෙකේදීම එයාව හොඳින් පාලනය කළා. ඉතිං අපි බලාපොරොත්තු වෙනවා එයාට හොඳින් මුහුණ දෙන්න.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment