ශ්‍රී ලංකා – ඉන්දියා කාන්තා සටන  අද දඹුල්ලෙන් ඇරඹෙයි

298

වසර හතරකට පසුව ශ්‍රී ලංකා කාන්තාවන් සහ ඉන්දීය කාන්තාවන් අතර ක්‍රිකට් සටනකට මුල පුරමින් සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (23 වැනිදා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා - ඉන්දියා කාන්තා සටන  අද දඹුල්ලෙන් ඇරඹෙයි

දෙරට අතර අවසන් වරට තරගාවලියක් පවත්වා ඇත්තේ 2018 වසරේ දී වන අතර එහි දී තරග 5කින් යුත් තරගාවලියේ 4-0ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු විය.

ශ්‍රී ලංකාව පසුගිය තරගාවලි 11ක දී පරාජයට පත් වී ඇති අතර අවසන් වරට මේ වසරේ පැවති පාකිස්තානය සමඟ තරගාවලිය ද 3-0ක පරාජයක් ලබා ඇති හෙයින් මේ තරගාවලියේ දී තම දක්ෂතා උපරිමයෙන් දක්වමින් තම පරාජයන්ට තිත තැබීමට උත්සාහ කරනු ඇත.

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් වරට තරගාවලියක් ජයග්‍රහණය කර ඇත්තේ 2013/14 වසරේ දී වන අතර ඉන්දියාව කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 133කට ක්‍රීඩා කරමින් ඉන් තරග 69ක් ජයග්‍රහණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග 107කට සහභාගී වී ඇති අතර ඉන් තරග 28ක් ජයග්‍රහණය කර ඇති අතර තරග 75ක් පරාජය වී ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ දක්වා පවත්වා ඇත්තේ විස්සයි විස්ස තරග 18ක් පමණක් වන අතර ඉන් තරග 3ක් පමණක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය කර තිබෙන අතර ඉන්දිය ක්‍රීඩිකාවෝ තරග 14ක් ජයග්‍රහණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා 32 හැවිරිදි චමරි අතපත්තු ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 92කට ක්‍රීඩා කර ඇති අතර ලකුණු 1915ක් ලබා සිටින ඇය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් විස්සයි විස්ස පිටියේ රැස් කරගෙන ඇති ඉහළම ලකුණු ලාභිනිය ද වන්නීය

මේ ලකුණු ප්‍රමාණයට ඔස්ටේ්‍රලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 113ක් ඇතුළත් වන අතර එය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ වාර්තා කරන ලද පළමු සහ එකම ශතකය ලෙසින් ද සටහන් වෙයි.

මෙරට ක්‍රීඩිකාවන් අතරින් විස්සයි විස්ස පිටියේ වැඩිම තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩිකාව සේ ම වැඩිම වාර ප්‍රමාණයක් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීමෙන් ද යුත් චමරිට මේ තරගාවලිය තවත් වැදගත් වන්නේ ඇයට විස්සයි විස්ස පිටියේ ලකුණු 2000 සීමාවට පිවිසීමට තවත් ඇත්තේ ලකුණු 85ක් පමණක් හේතුවෙනි.

තවමත් 16 වැනි වියේ පසුවන විෂ්මි ගුණරත්න ද කණ්ඩායමට නම් කර ඇති අතර ඇය ළාබාලතම ක්‍රීඩිකාව වෙයි. මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 4කට ක්‍රීඩා කර ඇති ඇය ලබා ඇති ලකුණු සංඛ්‍යාව 50ක්. පාසල් ක්‍රිකට් පිටියේත් ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිටියේත් දක්ෂතා දක්වා ඇති ඇය බලාපොරොත්තු තබා ගත හැකි නවක ක්‍රීඩිකාවක් ලෙසින් හැඳින්විය හැකියි.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හාර්මන් පීට් විසින් මෙහෙයවනු ලබන අතර ඇය තුන් ඉරියව්වේ දක්ෂතා දක්වන ක්‍රීඩිකාවකි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි විස්ස සංචිතය:

චමරි අතපත්තු (නායිකාව), නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, විෂ්මි ගුණරත්න, අමා කාංචනා, හංසිමා කරුණාරත්න, අචිනි කුලසූරිය, සුගන්ධිකා කුමාරි, හර්ෂිතා මාධවී, හසිනි පෙරේරා, උදේශිකා ප්‍රබෝධනී, ඕෂදී රණසිංහ, ඉනෝකා රණවීර, සත්‍යා සංදීපනී, අනුෂ්කා සංජීවනී, මල්ෂා ෂෙහානි, තාරිකා සෙව්වන්දි

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment