ශ‍්‍රී ලංකා ඉන්දියා – ටෙස්ට් තරගාවලිය පස්සට ගොස් විස්සයි-20 ඉස්සර වෙයි

446

ටෙස්ට් තරගාවලිය වෙනුවට පන්දුවාර විස්සයි විස්ස තරග තුනකින් යුත් විස්සයි-20 තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය ආරම්භ කිරීමට ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් කරන ලද ඉල්ලීම සලකා බලා ඇති ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති අතර පළමුව සැලසුම් සකස් කර තිබුණේ ටෙස්ට් තරගාවලියෙන් සංචාරය ආරම්භ කර විස්සයි-20 තරගාවලිය අනතුරුව පැවැත්වීමටයි.

පන්දුවාර විස්සයි විස්ස තරග පහකින් යුත් ශ‍්‍රී ලංකා ඕස්ටේ‍්‍රලියා තරඟාවලියේ අවසන් තරගය සඳහා ශ‍්‍රී ලංකාව ලබන 20 වෙනිදා තරග වැදීමට නියමිත අතර ආරක්ෂිත බුබුලක් යටතේ ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම කෙළින්ම ඉන්දියාවට යොමු කිරීමේ වාසිය සලකා බලා ඉන්දියාව මෙම තීරණය ගෙන ඇත.

එසේ නොවුණා නම් පන්දුවාර විස්සයි විස්ස තරඟවලට සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම ශ‍්‍රී ලංකාවට පැමිණ නැවත නිරෝධායනයට යොමු කර ඉන්දියාවට එවීමට සිදුවන බැවින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉන්දියාවෙන් මෙම ඉල්ලීම කර තිබුණි.

ඒ අනුව සංශෝධනයට ලක් වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය පන්දුවාර විස්සයි විස්ස තරගයකින් ලබන 24 වෙනිදා ලක්නව් හිදී ආරම්භ වීමට නියමිතය. ලබන 26 වැනිදා සහ 27 වැනිදා දෙවෙනි සහ තුන්වන පන්දුවාර විස්සයි විස්ස තරඟ දෙක ධර්මශාලාහි දී පැවැත්වේ.

පළමු ටෙස්ට් තරගය මාර්තු මස 03 වැනිදා සිට මොහාලි හිදී ද දෙවන ටෙස්ට් තරඟය මාර්තු මස 12 වෙනිදා සිට බැංගලෝරයේදී ද පැවැත්වීමට නියමිතය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment