ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය ජයගනිති

188

ජාතික කණ්ඩායමට අවශ්‍ය දෙවැනි පෙළක් සකසා ගැනීමට අමතරව ශූරයින් කවුරුන්ද යන්න වෙනුවෙන් පැවැති එක්දින තරගාවලියේ ඊයේ (21 දා) පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 6 ක පරාජයකට ඇද දැමූ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගත්හ. මෙම තරගාවලියට පෙර පැවැති සිව් දින නිල නොවන ටෙස්ට් තරගාවලිය සම තත්ත්වයෙන් නිමාවට පත් වුවත් එහි වැඩි ගෞරව දිනා ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් විය.

කලකට පසු දක්නට ලැබුණු අති විශිෂ්ට පන්දු රැකීමත්, ඒ හා සමානම පන්දු රැකීමත් නිසා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම ලකුණු 163 කට සීමා කිරීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට හැකියාව ලැබිණ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ඒ ක්‍රීඩකයෝ පන්දු 107 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගියේ කඩුලු 6 ක් ඉතිරිව තබා ගනිමිනි.

ටොම් හාර්ට්ලි විසින් යොමු කරන ලද පන්දුවකට හතරේ පහරක් එල්ල කළ සහන් ආරච්චිගේ විසින් ප්‍රතිවාදීන් විසින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව සම කරන ලද නමුත්, විනිසුරුවරයා විසින් එය නිපන්දුවක් ලෙස සංඥා කිරීමත් සමඟ තරගයේ ජය ශ්‍රී ලංකා ඒ පිලට හිමිවිය. ඒ වන විටත් අනෙක් අන්තයේ රැඳී සිටි නිපුන් ධනංජය ලකුණ 65 ක් ලබා සිටියේය. ඉනිමේ කොඳු නාරටිය බවට පත් වුණු ධනංජය සිය ඉනිම සඳහා පන්දු 76 කට මුහුණ දී තිබූ අතර ඉන් පන්දු 4 ක් හතරේ පහර ලෙසින් පරිවර්තනය කර ගෙන තිබිණ. ධනංජය සමඟ 5 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 65ක සම්බන්ධතාවක් එක් කළ සහන් ආරච්චිගේ පන්දු 28 කදී ලකුණු 22 ක් ලබා සිටියේ ජයග්‍රහණය වෙනුවෙන් එල්ල කරන ලද එකම හතරේ පහර ද සමගිනි.

ආරම්භක පිතිකරුවන් වූ ලසිත් කෲස්පුල්ලේ (18) සහ නුවනිදු ප්‍රනාන්දු (10) මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 28 ක්ව තිබියදී දැවී ගිය අතර අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට කණ්ඩායමට පැමිණි ලහිරු උදාර ලකුණු 21 ක් ලබා ගත්තේය. නායක සදීර පන්දු 29 කදී ලකුණු 23 ක් ලබා ගත්තේ මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙසට ඉදිරියට පැමිණෙමිනි. තරග 3 කදී සදීර රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 137 ක් ලෙස සටහන් කර ගනිමිනි. එය ඉනිමක සාමාන්‍ය 45.66 ක අගයකි.

කාසියේ වාසිය පළමු වතාවට හිමිකර ගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන්නද එය එතරම් සාර්ථක තීරණයක් නොවූයේ අද දිනයේදී ‘ඒ’ වරම් දිනාගත් ඉසිත විජේසුන්දර ඇතුළු පන්දු යවන්නන් ඉතාම හොඳට පන්දු යැවීමට සමත්වූ නිසාය. දේශීය තරග පිටියේ වේග පන්දු යවන්නකු ලෙස එතරම් නමක් දරා නොසිටි ක්‍රීඩකයකු වන ඉසිත විජේසුන්දරගේ පන්දු යැවීම අති විශිෂ්ට මට්ටමේ විය.

දෙවැනි ආරම්භක පන්දු යවන්නා ලෙසින් පන්දු යැවීම ඇරැඹි ඉසිත එක දිගට පන්දුවාර 5 ක් යැවුවේ නිලකුණු පන්දුවාරයක් ද සමඟින් ප්‍රතිවාදීන් හමුවේ ලකුණු 08 ක් ලබා දෙමිනි. ඒ අතර වාරයේ එක් කඩුල්ලක්ද දවා ගත් දකුණත් වේග පන්දු යවන්නා නැවතත් 38 වැනි පන්දුවාරයේදී පිට පිට පන්දු 2 කදී ටොම් ලැමන්බි සහ බ්‍රයිඩන් කාර්ස්ගේ කඩුලු දවා ගනිමින් ‘ඒ කණ්ඩායමට විශාල වාසියක් ලබා දුන්නේය. මෙම පන්දු යැවීම නිසා ලකුණු 126 කට කඩුලු 5 ක්ව සටහන්ව තිබූ ලයන්ස් ලකුණු පුවරුව පන්දු 4 ක් ඇතුළතදී ලකුණු 127 කට කඩුලු 7 ක් ලෙස සටහන් විය.

advertistmentadvertistment
advertistmentadvertistment