ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු පුහුණුකරුවකු නැතිවීමේ අවදානමක්

479

තරගාවලියෙන් තරගාවලියට පත්කරන පුහුණුකරු ධුරය වාස් එපා කියයි

එළැඹෙන බංග්ලාදේශ සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පත්කළ වේග පන්දු පුහුණුකරු ධුරය යළි හිස්වීමේ අවදානමකට ලක්ව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කළ චමින්ද වාස් මහතා එම ධුරය භාර නොගැනීමට තීරණය කිරීම නිසා මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්තයේ හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සහ සහාය පුහුණුකරු ලෙස නවීඩ් නවාස් පත් කිරීමෙන් අනතුරුව එළැඹෙන බංග්ලාදේශ ටෙස්ට් සංචාරය සඳහා පමණක් තවත් පුහුණුකරුවන් තිදෙනෙක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තබිණි. ඒ අනුව වේග පන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් මහතා පත් කළ අතර දඟ පන්දු පුහුණුකරු ලෙස පියල් විජේතුංග මහතාත් පන්දු රැකීමේ පුහුණුකරු ලෙස මනෝජ් අබේවික්‍රම මහතාත් පත් කර තිබිණි.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් තරගාවලියෙන් තරගාවලියට පමණක් තමන් පුහුණුකරුවකු ලෙස පත්කර ගැනීමට අප්‍රසාදය පළ කරන චමින්ද වාස් මහතා එම පත් කිරීම භාර නොගැනීමට තීරණය කළ බව ‘දිවයින’ කළ විමසීමකදී ඊයේ (18 වැනිදා) කියා සිටයේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි චමින්ද වාස් මහතා ‘තරගාවලියෙන් තරගාවලියට පමණක් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කිරීමට මම එකඟ වෙන්නේ නැහැ’ ඒ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් එකට මම කලින්ම කියලා තියෙන්නේ. මට මේ ගැන හරි තොරතුරක් ක්‍රිකට් ආයතනය මගින් මේ වනතෙක් දන්වලා නැහැ. කොහොම වුණත් තරගාවලියට පමණක් පුහුණුකරුවෙක් ලෙස මම සහභාගි වෙන්නේ නැහැ’ යැයි කියා සිටියේය.

මීට පෙරද තරගාවලි කිහිපයක් සඳහා පමණක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් මහතාගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

කෙසේ වෙතත් තමන් මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් සමගින් ඉක්මිනින් සාකච්ඡා කිරීමට නියමිත බවත් ඉන් අනතුරුව තමන්ගේ තීරණය කුමක්ද යන්න දැනුම් දෙන බවත් ඊයේ ‘දිවයින’ට අදහස් දක්වමින් චමින්ද වාස් මහතා කියා සිටියේය.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment