ශ්‍රී ලංකා කණ්ඩායම අද සිට සතියක් රදැල්ලේ

152

ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය සඳහා සූදානම් වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී අද (16 වැනිදා) සිට සතියක පුහුණු සැසියකට එක්වීමට නියමිතය.

ශීත දේශගුණයකින් යුතු රටවල තරඟ වැදීම සඳහා ක්‍රීඩකයන් පුහුණු කිරීම උදෙසා රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය අද සිට පුහුණු වීම සඳහා යොදා ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ අනුව නිවේදනය කරයි.

ක්‍රීඩාංගනයේ හිමිකාරිත්වය දරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජික ක්‍රීඩා සමාජයක් වන දිඹුල මලල ක්‍රීඩා සහ ක්‍රිකට් සමාජය විසින් (Dimbula Athletic and Cricket Club) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙම ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සිදු කිරීමට අවසර ලබා දීමෙන් පසු මෙහි ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කර තිබේ.

එම අවසරය හිමි වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ සහ පහසුකම් කළමනාකාරිත්වය දරන ගොඩ්ෆ්‍රි දබේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රදැල්ල ක්‍රීඩාංගණය වෙත යවා ජාතික කණ්ඩායමට පුහුණුවීම් සිදු කිරීමට අවශ්‍ය මට්ටමට ක්‍රීඩාංගණය සැකසීමට කටයුතු යොදා තිබුණි.

1856 වසරේ ඉදි කරන ලද රදැල්ල ක්‍රීඩාංගණය මුහුදු මට්ටමේ සිට අඩි 4200ක් ඉහළින් පිහිටා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment