ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඉදිරියේදී බෝන් අගේන් බලපෑමක් වේවි!

650
  • පංච පුද්ගල කමිටුව කියයි
    චාමිකට එක හැන්දකිනුත් කැසිනෝ ගහපු අනෙක් ක්‍රීඩකයන්ට තවත් හැන්දකිනුත් බෙදුවාද?
    ෆාස්ටර් ජෙරොම්ගේ සාක්‍ෂි පරස්පර වෙයි

අගේන් ඇන්ඩ් අගේන් බෝන් අගේන්

2022 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිමා වූයේ ක්‍රිකට් උපන් දේශය වන එංගලන්තයට එහි කිරුළ උරුම කර දෙමිනි. ආසියානු කුසලාන ශූරයන් ලෙස ශ්‍රී ලංකාව එම තරගාවලියට සහභාගි වුවද එකී කිරුළ ද හෑල්ලු වන ආකාරයට තරග වැදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පෙරළා දිවයිනට පැමිණියහ. එදා මෙරටට පැමිණි ක්‍රීඩකයෝ සහ මෙරට ක්‍රිකට් පරිපාලකයෝ ශ්‍රී ලංකාවට ලෝක ක්‍රිකට් කිරුළ නොගෙනාවද විශාල ගැටලු සහ අර්බුද ගොඩක් බන්දේසියක දමා ගෙන පැමිණියහ.

ඔස්ටේ්‍රලියාවේදී රෑ එළිවන තෙක් පාටි දමන, කැසිනෝ ශාලා පසුපස ගිය ඇතැම් ක්‍රීඩකයන් පිළිබඳ ඒ වනවිටත් යම් යම් කසු කුසු මෙරටට වාර්තා වී තිබිණි. ඇතැම් ක්‍රිකට් පරිපාලකයෝ අනවශ්‍ය ලෙස ඔස්ටේ්‍රලියාවේ දී මෙරට මුදල් නාස්ති කරන බවද කියැවිණි. ඒවා කෙමෙන් කෙමෙන් අළු යට ගිනි පුපුරු මෙන් තිබුණි. එහෙත් ඒ ගිනි පුපුරුවලට පෙට්‍රල් හැලුවා සේ දනුශ්ක ගුණතිලක ඔස්‌ට්‍රේලියා පොලිසිය මගින් අත්අඩංගුවට ගැනිණි. ගැස්සි ගැස්සී තිබුණු මෙරට ක්‍රිකට් පිටිය තිගැස්සෙන්න ගන්නේ එසේය. ස්ත්‍රී දූෂණ චෝදනාවකට ඔහුට එරට හිරබත් රස විඳින්නට වූයේය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහ පරිපාලකයන් ඔස්‌ට්‍රේලියාවෙන් මෙරටට කුසලානය වෙනුවට මෙරටට ගෙනා අර්බුදවලින් පිරි බන්දේසිය එසේ මෙසේ එකක් නොවීය. එය උඩින් පල්ලෙන් ආවට ගියාට පිරික්සා ඵලක් නොවන බව ක්‍රීඩා බලධාරීහු වටහා ගත්හ. හොඳට විමසුම් ඇස යොදා සාක්ෂි විමසා ඇත්ත ඇති සැටියෙන් එළියට ගත යුතු බව ක්‍රීඩා බලධාරීන්ගේ අදහස විය. ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගිත්වය පිළිබඳ ගැටලුවලින් පිරි අදාළ බන්දේසිය ලිහා බැලීමේ කාරණය භාර වූයේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරියක වූ කුසලා සරෝජනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් වූ කමිටුවකට ය. එය පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් වූයේය.

එහි වාර්තාව අනුව නම් යකා හිතුවාටත් වඩා කළුය. දැනට වසර කීපයකට පෙර පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් වටා අරක්ගෙන සිටිනවා යැයි හොල්මන් කළ බෝන් අගේන් නම් යක්ෂයා අතටම අල්ලා ගැනීමට කුසලා සරෝජනී මහත්මියගේ එම පංච පුද්ගල කමිටුවට හැකි වූයේය. එය එක් ආකාරයකට මේ පංච පුද්ගල කමිටුවේ අග්‍රඵලය යැයි කීම අතිශයෝක්තියක් නොවේ. වසර කීපයක සිටම බෝන් අගේන් හා පැටලි පැටලී තිබුණු නම් රාශියක් ඒ අතර එළියට පැන්නේය. ඒ පිළිබඳව එදා සිට සුප්‍රසිද්ධව සිටි අයකු වූයේ භානුක රාජපක්ෂ ය. සරෝජනී මහත්මිය ගේ වාර්තාව අනුව ද භානුක බෝන් අගේන් අනුගාමිකයෙකි. උපතින් බෞද්ධයකු වූ භානුක බෝන් අගේන් අනුගාමිකයකු වන්නේ 2015 වසර අවසානයේ සිට ය. ඒ කියන්නේ දැන් අවුරුදු හතක් පමණ කලක සිට භානුක ඒ හා සම්බන්ධ වී ඇත. භානුක බෝන් අගේන් අනුගාමිකයකු බවට පත්වූයේ ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු හෙවත් ජෙරොම් ප්‍රනාන්දු ලෙස ප්‍රකට ව සිටි ෆාස්ටර්වරයාගේ මැදිහත්වීම මත බව කියවේ. ඒ නිසා බෝන් අගේන් ගැන විමසීමට එහි ප්‍රධාන නළුවා වන ජෙරොම් ප්‍රනාන්දු ද කමිටුව හමුවට කැඳවිණි. සාක්ෂි විමසීය. අදාළ පරීක්ෂණ මණ්ඩලය හමුවේ දිවැසිවරයෙක් ලෙස තමාව හඳුන්වා දී ඇති ජෙරොම් ප්‍රනාන්දු එහිදී ලබා දුන් එක් සාක්ෂියක මෙසේ දැක්වේ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ලබා දුන් ආත්මයක් උපයෝගි කර ගෙන දුකට සහ ආබාධයන්ට පත්වූ බොහෝ පිරිසකට කායික සහ මානසික සුවය ලබා දෙමින් කටයුතු කරන බවටත්, එනමුදු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරීන්ගෙන් යමෙකු
අනුගාමිකයන් වශයෙන් ඔහුට මුහුණට මුහුණ හමුවී නැති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග හෝ ක්‍රිකට් ආයතනයේ සිටින නිලධාරීන් සමග කිසිම සම්බන්ධතාවක් නොමැති මුත් දේව යාඥාවලට ඔවුන් පැමිණ සිටියාද කියා නොදන්නා බවටත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සම්බන්ධ කිසිවකු සත්‍ය වශයෙන්ම ඔහුගේ පිහිට පතා පැමිණ නොමැති බවටත් ඔහු පවසා ඇත’ යනුවෙන් එම වාර්තාවේ පාස්ටර් ජෙරොම්ගේ සාක්ෂිය සම්බන්ධයෙන් සඳහන් වේ.

‘එනමුදු තවත් වරෙක ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධව තම දේවස්ථානයේ සාමාජිකත්වය ගත් අනුගාමිකයන් හත් දෙනෙක් පමණ සිටින බවටත්, රුවන් කල්පගේ, භානුක රාජපක්ෂ, වැන්ඩර්සේ, සදීර සමරවික්‍රම ලින්ඩන් හැනිබල්, රොෂාන් අබේසිංහ වගේ අය එහි සාමාජිකයන් වන බවටත්, කුමාර් සංගක්කාර මුලින් සිටියද දැන් නොමැති බවටත් පැහැදිලිවම පවසා ඇත’ යනුවෙන් සඳහන් කරන එකී වාර්තාවේ මෙම ප්‍රකාශවල පරස්පරතාව පාදක කරගනිමින් මේ අනුව ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ‘බෝර්න් අගේන්’ අනුගාමිකයන් සම්බන්ධව මෙම සාක්ෂිකරු සත්‍ය කරුණු වසන් කරමින් සාක්ෂි ලබා දෙන බවට පැහැදිලිවම අනාවරණය වන හෙයින්, මෙම ආගමික නායකවරයා ක්‍රියා කරන්නේ තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ අනුගාමිකයන්ව තම වසඟයේ තබා ගනිමින් ආරක්ෂා කර ගැනීම සඳහා බව සාධාරණව සිතෙන යමෙකුට නිගමනය කළ හැක’ යනුවෙන් ද සඳහනක් වේ.

එසේම ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට එල්ල වූ චෝදනා අතර කියවුණු කැසිනෝ සමාජශාලා වෙත ප්‍රවේශ වීම සහ අනවසර ප්‍රිය සම්භාෂණවලට සහභාගි වීම ද දැක්විය හැක. එහිදී කැසිනෝ ශාලාවකදී බහින්බස් වීමක් සිදු වූ බවට චාමික කරුණාරත්නට චෝදනා එල්ල වූ අතර එය විමසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර චාමික කරුණාරත්නට ඩොලර් 5000ක දඩයක් සහ වසරක අත්හිටුවූ තරග තහනමක් ද නියම කෙරිණි. එහෙත් අනෙකුත් ක්‍රීඩකයන් කැසිනෝ ශාලා වෙත ගොස් කළ ක්‍රියාවන් සම්බන්ධව විමසීමක් කළ බව හෝ ඊට අදාළව යම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබූ බවට හෝ කිසිදු කරුණක් කමිටුව හමුවේ අනාවරණය නොවූ බවද එම වාර්තාවේ දැක්වේ. විශේෂයෙන් ක්‍රිකට් කළමනාකරු මහින්ද හලංගොඩ මහතා කමිටුව හමුවේ දක්වා ඇති පරිදි රාත්‍රී 8.30 න් පසු සියලුම අවන්හල් වසන අතර හෝටලයෙන් පිටව ගිය ක්‍රීඩකයන්ට ඉන් පසු ආහාර ගැනීම සඳහා විවෘතව පවතින්නේ කැසිනෝ ශාලා පමණි. ක්‍රීඩකයන් කැසිනෝ ශාලා වෙත ගොස් ක්‍රීඩා කිරීම විනය විරෝධීය. එහෙත් අනෙක් ක්‍රීඩකයන්ට ඊට දඬුවම් හිමි වී නොමැත. චාමික ට එක හැන්දකිනුත් ඇතැම් ක්‍රීඩකයන්ට තවත් හැන්දකිනුත් සැලකීම පිටුපස තිබෙන්නේ චාමික කරුණාරත්න බෝන් අගේන් අනුගාමිකයකු නොවීම ද යන්න සැක පහළ වන කාරණයකි.

එසේම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිටත්ව ගිය නිලධාරීන්ගේ සංඛ්‍යාව 16කි. මෙරට ඩොලර් අහේනියකින් සිටියදී අදාළ නිලධාරීන් 16 දෙනා ඔස්‌ට්‍රේලියාවේදී මුදල් අවභාවිතා කර ඇති බවට සරෝජනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් නිකුත් කළ කමිටු වාර්තාවේ තවත් ප්‍රධාන පරිච්ඡේදයක් වේ. එසේම අදාළ කමිටුව හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ලබාදී ඇති ගිණුම් වාර්තා ද අසත්‍ය බවට හෙළිවී තිබේ. වියදම් අවම මට්ටමක පවත්වා ගන්නා ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබියදී ද මෙසේ මුදල් අවභාවිතා වී තිබේ. එම කණ්ඩායමේ ගුවන් ප්‍රවේශ පත්‍ර සඳහා පමණක් රුපියල් කෝටි දෙකහමාරකට අධික මුදලක් ද වැයවී තිබේ. එසේම එම නිලධාරීන් තම දෛනික වියදම් සීමාව ඉක්මවා කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

මේ ආකාරයට රටේ මුදල් අවභාවිතා කළ සහ ඊට ආධාර උපකාර කළ සියලු දෙනාට එරෙහිව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව මුදල් වංචා කිරීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, අනර්ථය යනාදී චෝදනාවන් ඉදිරිපත් කරමින් නීති මඟින් කටයුතු කරන ලෙසද කමිටු වාර්තාව නිර්දේශ කර ඇත.

තවද බෝර්න් අගේන් ආගම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට යම් බලපෑමක් සිදුවී ඇත්ද යන්න නිශ්චිතවම නිගමනය කළ නොහැකි බව ද එම වාර්තාවේ දැක්වේ. එසේ වුවද බෝන් අගේන් ආගම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේ දී බලපෑම් සිදු වීමට ඉඩ ඇති බවට නිරීක්ෂණය වන හෙයින් ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කිරීම ද කිරීම ද වැදගත් වන බව කමිටු වාර්තාවේ නිර්දේශයකි.

  • කුෂාන් සුබසිංහ
advertistmentadvertistment
advertistmentadvertistment