ශ්‍රී ලංකා ක්‍රිකට්වලට බලපෑම් තිබෙනවා ද?

212

අයිසීසී නියෝජිතයෝ ක්‍රිකට් නිලධාරීන් හමු වෙති
අද ඇමැති සමග සාකච්ඡා

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදු වී ඇත්දැයි සොයා බැලීම පිණිස මෙරටට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා ප්‍රමුඛ නියෝජිත පිරිස සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර හමුව ඊයේ (10 වැනිදා) සවස කොළඹ දී සිදු වී ඇත.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක මෙම දෙපාර්ශ්වය අතර හමුව සිදු වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විවිධ දේශපාලන බලපෑම් එල්ල වන බවත් ඒ හේතුවෙන් පරිපාලනයට එල්ල වන බලපෑම් පිළිබඳව ද ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයෝ අයිසීසී නියෝජිතයන් හමුවේ එහිදී ප්‍රකාශ කර ඇත.

මෙම බලපෑම් මත තම ආයතනයේ ස්වාධීනත්වයට ද හානි සිදුවී ඇති බව ද ඔවුහු අයිසීසී නියෝජිතයන් හමුවේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයන් හමුවේ ඊයේ එසේ සාකච්ඡා කළ ඉම්රාන් ක්වාජා ඇතුළු නියෝජිත පිරිස ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා සමග අද (11 වැනිදා) සාකච්ඡා කිරීමට නියමිතය.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ දී අද සවස මෙම දෙපාර්ශ්වය අතර සාකච්ඡාව සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ක්‍රිකට් පරිපාලන පසුබිම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීමේ අරමුණෙන් මෙම අයිසීසී නියෝජිත පිරිස ඊයේ මෙරටට පැමිණි අතර ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය හැර තවත් පාර්ශ්ව කිහිපයක් සමඟ ද ඔවුන් ඊයේ සහ අද සාකච්ඡා සිදු කිරීමට නියමිතව තිබුණි.

මෙම අයිසීසී නියෝජිත පිරිස ඔවුන්ගේ මෙම දින දෙකේ ශ්‍රී ලංකා සංචාරයේ වාර්තාව නුදුරේදීම අයිසීසිය වෙත භාරදීමට නියමිතය.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලමින් අයිසීසීයට ලිපියක් යොමු කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත කළ පැමිණිල්ලකින් දැක්වූයේ තම ක්‍රීඩා

සංගමය වෙත දේශපාලනික බලපෑම් ඇති බවය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන බලපෑමක් ඇත්දැයි සොයා බැලීම උදෙසා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල උප සභාපති ඉම්රාන් ක්වාජා, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා සහ බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නස්මුල් හසන් යන මහත්වරුන්ගෙන් යුත් කමිටුවක් පසුගියදා නම් කළේය.

අදාළ නියෝජිත පිරිස ඊයේ දිනයේ ශ්‍රී ලංකාවට පැමිණියේ ඒ අනුවය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment