ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මදි නොකියන්න මුදල් ප්‍රදාන

253

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහරගම අපේක්ෂා රෝහලට අමෙරිකානු ඩොලර් ලක්ෂ 10ක්, රිජ්වේ ආර්යා ළමා රෝහලට අමෙරිකානු ඩොලර් ලක්ෂ 10ක්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන සියයක් හා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා රුපියල් මිලියන 22.5ක් පිරිනැමීමට කටයුතු කළේය.

එමෙන්ම මීටර් 100 ඉසව්වේ මේ වසරේ ආසියාවේ ක්‍රීඩකයකු දැක්වූ ඉහළම දක්ෂතාව වාර්තා කළ යුපුන් අබේකෝන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් කෝටි 4ක (මිලියන 40ක) මූල්‍ය ආධාරයක් ද පිරිනැමීමට කටයුතු යොදා ඇත.

යුපුන් එම තරගය තත්පර 9.96කින් නිමා කළ අතර එවැනි දස්කමක් කළ පළමු දකුණු ආසියාතික ක්‍රීඩකයා වන්නේ ද යුපුන් ය.

අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා පොරොන්දු වූ පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 2 ක මුදල හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 718 ක මුදල මෙරට සෞඛ්‍ය පද්ධතිය වෙත නිල වශයෙන් පරිත්‍යාග කිරීමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පෙරේදා පැවැති මෙම උත්සවයට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් අමල් එදිරිසූරිය, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු සහභාගිව සිටියහ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment