ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

287

සිව්මසකට ආසන්න කාලයක් හිස්ව තිබූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරය වෙනුවෙන් හිටපු එංගලන්ත ප‍්‍රධාන පුහුණුකරු ක‍්‍රිස් සිල්වර්වුඞ් මහතා පත් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එ් අනුව ඔහු ඉදිරි වසර දෙකක කාලය සඳහා ගිවිසුම් ගතවී ඇති අතර එළැඹෙන මැයි මසදී පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ සිට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වගකීම භාර ගැනීමට නියමිතව බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කර සිටී.

මේ වනවිට 47 වැනි වියේ පසුවන කි‍්‍රස් සිල්වර්වුඞ් 2019 ලෝක කුසලාන දිනූ එංගලන්ත කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ට‍්‍රවෙර් බේලීස් මහතාගේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් එවකට කටයුතු කළේය. අනතුරුව ට‍්‍රවෙර් බේලීස් මහතා එංගලන්ත ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමෙන් පසු සිල්වර්වුඞ් මහතා එංගලන්ත කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තනතුරට පත්විය.

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 6 කට සහ එක්දින තරග 7 කට ක‍්‍රීඩා කර ඇති ශ‍්‍රී ලංකා නව ප‍්‍රධාන පුහුණුකරුවා එරට ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලියේදී යෝක්ෂයර් සහ මිඞ්ල්සෙක්ස් යන ප‍්‍රාන්ත කණ්ඩායම් නියෝජනය කර තිබේ.

ක‍්‍රීඩා දිවියට තිත තැබීමෙන් පසු සිල්වර්වුඞ් මහතා පුහුණුකරු දිවිය තෝරාගත් අතර ඔහුගේ පළමු තනතුර බවට පත්වූයේ සිම්බාබ්වේහි මෂෝනලන්ඞ් ඊගල්ස් කණ්ඩායම වේ. පළමු තරගාවලියේදීම ලෝගන් කුසලාන දිනා ගැනීම දක්වා ඊගල්ස් කණ්ඩායම රැුගෙන යෑමෙන් පසු සිල්වර්වුඞ් මහතා එසෙක්ස් ප‍්‍රාන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙසින් පත්වූ අතර එහිදී වසර 25 ක් තිස්සේ දිනා ගැනීමට නොහැකි වූ ප‍්‍රාන්ත ශූරතා ජයග‍්‍රහණය දක්වා එසෙක්ස් කණ්ඩායම මෙහෙයවීමට ඔහු සමත්විය.

සිල්වර්වුඞ් මහතා, 2021 වසරේ එංගලන්ත කණ්ඩායම ශ‍්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී තරග වැදි තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ එංගලන්ත පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළේය. එම තරගාවලිය 2-0 ක් ලෙස ශ‍්‍රී ලංකාව පරාජය කිරීමට ජෝ රූට්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායම සමත්වූවේය.

”ජාතික කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස ක‍්‍රිස්ව පත් කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඔහු පළපුරුදු පුහුණුකරුවකු වන අතර ඔහු සමඟ සිදුකරන ලද සාකච්ඡුාවලදී ජාතික කණ්ඩායම ඉදිරියට රැුගෙන යෑමට අවශ්‍ය හැකියාව ඔහු සතුව තිබෙන බව අපිට පැහැදිළි වුණා’යි ජාතික කණ්ඩායමේ වගකීම සිල්වර්වුඞ් මහතා වෙත ලබාදීම පිළිබඳව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

මේ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට අවස්ථාව හිමිවීම පිළිබඳව අදහස් දක්වා සිටින ක‍්‍රිස් සිල්වර්වුඞ් මහතා, ”මම ශ‍්‍රී ලංකාවට ගොස් කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඔවුන් සතුව දක්ෂ සහ උද්‍යෝගිමත් ක‍්‍රීඩකයන් පිරිසක් සිටින අතර ඔවුන් මෙන්ම පුහුණු කාර්ය මණ්ඩලය ඉක්මනින් මුණගැසී කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙනවා’’ යැයි කියා සිටී.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment