‘ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතා කරන්න එන්න’ ක්‍රීඩා ඇමැති අයිසීසී ලොක්කාට ලියයි

121

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට දේශපාලන ඇඟිලි ගැසීම් ඇතැයි කියන චෝදනාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් අතර නිළ සාකච්ඡාවක් පැවැත්වීම ඉතා කාලෝචිත බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් නොපමාව ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමට කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් දන්වමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රේග් බාක්ලේ මහතා වෙත ලිපියකින් දැනුම්දී ඇත.

එම කාරණාව පිළිබඳව සත්‍ය වශයෙන් දැන ගැනීමට සහ තමන් සතු කරුණු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට තමන් අපේක්ෂා කරන බවත් ක්‍රීඩා ඇමැතිවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වෙත නිකුත් කරන ලද එම ලිපියේ සඳහන් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇඟිලි ගැසීම් තිබේද යන්න සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව සමාජ මාධ්‍ය, වෙබ් අඩවි හා ශ්‍රී ලංකාවේ ඇතැම් පුවත්පත් වාර්තා කර ඇති බවත්, ඒ පිළිබඳව නියත වශයෙන්ම දැන ගැනීමට හා එසේ නම් ඔවුන්ව ඉතා ලෙන්ගතුව පිළිගෙන තමන් සතු කරුණු ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට බලා සිටින බවද ඇමැතිවරයා එම ලිපියේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීන විය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ස්ථාවරය බවත් ක්‍රීඩාව භාර අමාත්‍යවරයා ලෙස තමාද එය අනුමත කරමින් එම ස්ථාවරයේ තමන් ද සිටින බවද එම ලිපියෙහි සඳහන් කර ඇත. ක්‍රිකට් පමණක් නොව ලියාපදිංචි සියලුම ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලන ස්වාධීන විය යුතු බවත් ඔවුන්ගේ කටයුතු සඳහා දේශපාලන ඇඟිලි ගැසීමක් නොමැති බවත් ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියි. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ක්‍රීඩා සංගම් හා සම්මේලනයන්හි කාර්යභාරයන් නිසි ප්‍රමිතීන් හා සම්මතයන් අනුව පවත්වාගෙන යා යුතු බවත් පළමුව රටේ නීතියට අනුගතව ජාත්‍යන්තර සම්මේලනයන්හි නීති හා නියාමනයන්ට ද යටත්ව ඔවුන් කටයුතු කළ යුතු බවත්, තම සම්මේලනයේ සේවාවන් උසස් තත්ත්වයෙන් හා පැහැදිලි අරමුණුවලට අනුකූලව පාරිදෘෂ්‍ය භාවයකින් යුතුව පවත්වාගෙන යෑම මගින් රටේ ක්‍රීඩාව ඉතා ගුණාත්මකව ඉදිරියට ගෙන යා හැකි බවත් අමාත්‍යවරයා එම ලිපියෙහි සඳහන් කර ඇත. ක්‍රීඩා අමාත්‍යාංශය සම්මේලනයන්හි කටයුතු සඳහා දායක වන්නේ තහනම් උත්තේජක නීති සහ දූෂණ විරෝධී නීති ඇතුළුව ක්‍රීඩා පනතෙහි සඳහන් රටේ පවතින විශේෂ ක්‍රීඩා නීතිවලට අනුව පමණක් බවත්, ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමා සෑම විටම ක්‍රීඩාවේ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගෙන යන අතර, සියලුම ක්‍රීඩා සම්මේලන වෙත ඔවුන්ගේ රාජකාරි කටයුතු කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලිඛිතව විශේෂ උපදෙස් ලබා දීමට නීතිමය බලයක් ඇති බව ද එම ලිපිය මගින් පෙන්වා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment