ශ්‍රී ලංකා ක්‍රිකට් නංවන්න මහේලට තවත් වසරක්

214

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතාගේ සේවය තවත් වසරකින් දිගු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත.

ලොව පිළිගත් පුහුණුකරුවකු සහ ලෝක කුසලාන දිනූ හිටපු ක්‍රීඩකයකු වන මහේල ජයවර්ධන මහතා ඒ අනුව ඊයේ එනම් 2023-01-01 වැනිදා සිට තවත් වසරක කාලයක් එම ධුරයේ කටයුතු කරනු ඇත.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිට වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම දක්වා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් කාර්ය සාධන ඒකකයේද පුහුණු උපදේශකවරයා ලෙස මහේල ජයවර්ධන මහතා කටයුතු කරයි.

ඩුබායි හි පැවැති 2021 ලෝක කුසලාන තරගාවලියේ දී මහේල ජයවර්ධන මහතා පළමු වරට එම ධුරයට පත් වූයේ ය.

“ශ්‍රී ලංකාව පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ සාමාජිකයකු වූ මහේල ගේ සේවය තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබා ගැනීමට හැකි වීම අපේ භාග්‍යයක්. ඔහු ලොව පිළිගත් පුහුණුකරුවෙක්. ඒ වගේම ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ අත්දැකීම් කිසිවකුටත් නොදෙවෙනියි. ඔහු වැනි අයකු ගේ සේවය රටේ ක්‍රිකට් දියුණු කිරීමට ඉමහත් ලෙස ඉවහල් වනවා” යැයි මහේල ජයවර්ධන මහතාගේ සේවා දිගුව පිළිබඳව ‘දිවයින’ට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙක් සඳහන් කළේය.

මහේල ජයවර්ධන මහතා මුම්බායි ක්‍රිකට් සමූහයේ පුහුණුකරු ලෙසද කටයුතු කරයි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment