ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද

260

මෙරට ජනප්‍රියම ක්‍රීඩාවේ පරිපාලන ආයතනය මෙන්ම, මෙරට ධනවත්ම ක්‍රීඩා පරිපාලන ආයතනය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද (20 වැනිදා) උදෑසන 10.00ට කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

එම නිලවරණයෙන් තේරී පත්වන නිලධාරී මඬුල්ල ඉදිරි වසර දෙකක කාල සීමාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු කර ගෙන යෑමට බලය ලබා ගනී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා නැවතත් එම තනතුරට තරග කරන අතර ශම්මි සිල්වා මහතාගේ පාර්ශ්වයෙන් සමන්ත දොඩංවල හා ජයන්ත ධර්මදාස යන මහත්වරු ද සභාපති තනතුරට නාමයෝජනා භාරදී තිබේ.

මේ දෙදෙනාම ශම්මි සිල්වා මහතාගේ පාර්ශ්වය නියෝජනය කරන අය බැවින් අවසන් මොහොතේ එම නාමයෝජනා ඉල්ලා අස් කර ගැනීමට සූදානමින් සිටිති.

ලේකම් තනතුරට වත්මන් ලේකම් මොහාන් ද සිල්වා මහතා හා නලීන් අපොන්සු යන මහත්වරු නාමයෝජනා භාරදී ඇති අතර, නලීන් අපොන්සු මහතා ද නිලවරණය ආරම්භයට පෙර සිය නාමයෝජනාව අස් කර ගැනීමේ සූදානමකින් පසුවේ. එවිට මොහාන් ද සිල්වා මහතා නිතරගයෙන් ලේකම් තනතුරට පත්වේ.

උප භාණ්ඩාගාරික තනතුර වෙනුවෙන් එක් නාමයෝජනාවක් පමණක් ලැබී තිබූ හෙයින් සුජීව ගොඩලියද්ද මහතා දැනටමත් නිතරගයෙන් තේරී පත්ව ඇත. ගොඩලියද්ද මහතා භාණ්ඩාගාරික තනතුර වෙනුවෙන් නාමයෝජනා ලබාදී තිබුණද, එම නාමයෝජනාව ඉල්ලා අස් කර ශම්මි සිල්වා පාර්ශ්වයේ ලසන්ත වික්‍රමසිංහ මහතාට භාණ්ඩාගාරික තනතුර නිතරගයෙන් ලබාදීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

අනෙක් සියලු තනතුරු වෙනුවෙන් නාමයෝජනා එකකට වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණද තරගකාරීත්වයකින් තොරව ක්‍රිකට් නිලවරණය පැවැත්වෙනු ඇතැයි පැවසේ.

අභියාචනාධිකරණයේ විශ්‍රාමලත් විනිසුරුවරියක වන මාලනී ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා හා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික සුනිල් සිරිසේන යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් කමිටුව මගින් නිලවරණ කටයුතු මෙහෙය වේ.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය වසරේ දෙසැම්බර් 14 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍ර දෙකේ පළ වූ රෙගුලාසි ලබන අගෝස්තු මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බැවින් මෙවර පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට එම නව රෙගුලාසි අදාළ නොවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නාමයෝජනා මෙසේය:

සභාපති (තනතුරු 1යි) – අටලුගමගේ ශම්මි සිරාජ් සිල්වා, සමන්ත බණ්ඩාර දොඩංවල, හේවා කොමනගේ ජයන්ත ධර්මදාස, උප සභාපති (තනතුරු 2යි) – රවීන් උදයප්‍රිය වික්‍රමරත්න, හේවා කොමනගේ ජයන්ත ධර්මදාස, හැළඹගේ වසන්ත කුමාර, සමන්ත බණ්ඩාර දොඩංවල, විනෝදන් ජොන් ජයරාජසිංහම්, ලේකම් (තනතුරු 1යි) – මහඳුරගේ මොහාන් ඇන්තෝනි චූලානන්ද ද සිල්වා, වික්‍රමසූරිය මහමාලිමගේ නලීන් අසංක අපොන්සු, උප ලේකම් (තනතුරු 1යි) – නිසිත සුධීප රූපසිංහ, ගෙරාඩ් රොෂාන් ඉද්දමල්ගොඩ, ක්‍රිෂාන්ත තියෙඩෝර් කපුවත්ත, භාණ්ඩාගාරික (තනතුරු 1යි) – ගොඩලියද්ද සුජීව ක්‍රිෂාන්ත මනෝජ් කුමාර ගොඩලියද්ද, ලියනගේ ලසන්ත සදානන්ද වික්‍රමසිංහ, උප භාණ්ඩාගාරික (තනතුරු 1යි) – සුජීව ක්‍රිෂාන්ත ගොඩලියද්ද (නිතරගයෙනි).

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment