ශ්‍රී ලංකා චීන වෙළෙඳ ගිවිසුම IMF සහය ලබාගැනීම සඳහා මිල ගෙවීමක්ද ?

724

වසර 10 ක කාලයක් තිස්සේ යථාර්ථයක් බවට පත් නොවී පවතින ශ්‍රී ලංකා චීන නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් යළිත් වරක් කතා බහක් ඇතිව තිබේ. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ චීනයේ ෂැන්හයි නුවර පැවති පස්වන චීන ආනයන අපනයන ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ශ්‍රී ලංකා චීන නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් වහා සාකච්ඡා ආරම්භ කරන බවය. ජනාධිපතිවරයා කියූ ආකාරයටම අදාළ ගිවිසුම ඇතුළු තවත් ද්වි පාර්ශ්වීය වෙළෙඳ ගිවිසුම් කිහිපයක්ම කඩිනම් කිරීමට ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේද එකඟතාව පල වී තිබේ. ඉන් පසු මේ සම්බන්ධයෙන් දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතරද සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත් බව කොළඹ චීන තානාපති කාර්යාලය නිවේදනය කර තිබිණ.

රට රටවල් අතර සහ කලාපීය වශයෙන්ද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතිවීම නූතන වෙළෙඳ ලෝකයේ ප්‍රමුඛ භාවිතාවකි. එවැනි ගිවිසුම් මගින් අපේක්ෂා කෙරෙන්නේ රටවල් දෙකක් අතර හෝ කලාපයක් තුළ වෙළෙඳාම ශක්තිමත් කිරීමෙන් ගිවිසුමට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට ඉහළ ආර්ථික ප්‍රතිලාභ ඇති කර ගැනීමය.

ශ්‍රී ලංකාව මේ වන විට ඉතිහාසයේ අන් කවරදාක හෝ නොතිබූ තරම් බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව කවුරුත් දන්නා කාරණයකි. තිස් වසරක යුද්ධයක් පවතින යුගයේ හෝ රට බංකොලොත් වී තිබුණේ නැත. මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට ඇති එක් ප්‍රධාන මාර්ගයක් වන්නේ රටේ අපනයන ආදායම ඉහළ නංවාගැනීමය. අපනයන ආදායම වැඩිකර ගැනීමටනම් අපනයනය කෙරෙන භාණ්ඩ ලැයිස්තුව වැඩි කරගැනීම සමගම අපනයන කෙරෙන භාණ්ඩ පරිමාවද වැඩි කර ගත යුතුය. මේ අවස්ථාවේ චීනය සමග පමණක් නොව කුමන රටක් සමග හෝ වෙළෙඳ ගිවිසුම්වලට එළඹීම අතිශය වැදගත් වන්නේ ඒ සඳහාය. ඒ අනුව බලන විට ලොව දෙවැනි විශාලතම ආර්ථිකය හිමි චීනය වැනි රටක් සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ ඇති වැදගත්කම අමුතුවෙන් පැහැදිලි කළ යුතුද ?

ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි රට පමණක් නොව ලොව අංක එකේ ආනයනකරුවා වන්නේද චීනයයි. වසර 2016 වන විටත් ලෝක ආනයනයන්ගෙන් 10% ඉක්මවූ පංගුවක් චීනය සතු වූ අතර එහි මූල්‍ය වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1500 ඉක්මවා තිබිණ. චීනය මේ තරම් ඉහළ ආනයන වෙළෙඳපොළකට හිමිකම් කියන්නේ තවදුරටත් ඉහළ ආනයන බදු අයකරමිනි. ලෝකයේ ආනයනයන්ගෙන් 53% කට හිමිකම් කියන ඉහළම ආනයනකරුවන් අතරින් 10% වැඩි ආනයන බද්දක් අය කරන්නේ චීනය පමණකි. චීනය වැනි විශාල වෙළෙඳ පොළකට ශ්‍රී ලංකා භාණ්ඩ අපනයනය කිරීම සාපේක්ෂව අඩු අගයක් ගැනීමට මෙම ඉහළ ආනයන බදු ද හේතුවක් වී තිබේ. 2020 වසරේ ශ්‍රී ලංකාව චීනයෙන් ඩොලර් බිලියන 4කට වැඩි භාණ්ඩ ආනයනය කර ඇතත් ශ්‍රී ලංකාවෙන් එරටට අපනයනය කර ඇත්තේ ඩොලර් මිලියන 266 ක් තරම් සුළු වටිනාකමකින් යුත් භාණ්ඩ ප්‍රමාණයක් පමණකි. චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිවන්නේ නම් ඉතා පහසුවෙන් මෙම තත්ත්වය වෙනස් කරමින් ශ්‍රී ලංකාවෙන් චීනයට සිදු කෙරෙන අපනයනයන් සැලකිය යුතු මට්ටමකින් ඉහළ නංවා ගැනීමේ හැකියාව පවතී. චීනය වැනි විශාල වෙළෙඳ පොළකට භාණ්ඩ ආනයනය කිරීම එරට වෙළෙඳපොළට ප්‍රවේශ වීමක් පමණක් නොව ලෝක වෙළෙඳ පොළට ප්‍රවේශ වීමටද ඉඩ සලසා ගැනීමකි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය වසර 2015 දී සිදුකළ අධ්‍යනයකින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා චීන නිදහස් වෙළෙඳ ගිවිසුමක් මගින් ශ්‍රී ලංකාවේ භාණ්ඩ 566 ක් සම්බන්ධයෙන් ගෝලීය වශයෙන්ද වෙළෙඳ වාසි අත්කර ගත හැකි වනු ඇති බවය. මේ අතරින් භාණ්ඩ 243 ක් චීනයට පමණක් අපනයනය කළ හැකිය. එසේම චීනය සමග වෙළෙඳාම් කළ හැකි අතිරේක නිෂ්පාදන 299 ක්ද ප්‍රතිපත්ති අධ්‍යන ආයතනය සිය අධ්‍යනය මගින් හඳුනාගෙන තිබේ.

නිදහස් වෙළෙඳ ගිවිසුමක් පමණක් නොව ඕනෑම ගිවිසුමක් ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයනට සම ප්‍රතිලාභ (අසබ – අසබ ) ගෙන දෙන එකඟතාවක් වන නමුත් එය තීරණය වන්නේ අදාළ ගිවිසුමේ කොන්දේසි වලට අනුවය. මේ අනුව චීනය සමග ඇති කරගන්නා නිදහස් වෙළෙඳ ගිවිසුමකින් ශ්‍රී ලංකාවට ඉහළ වෙළෙඳ වාසි අත් කර ගැනීමේ විභවතාවක් ඇති නමුත් යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් කියන තරමින් ශ්‍රී ලංකාවට වාසියක් අත්වන්නේ දැයි විමසා බැලිය යුත්තේ යෝජිත් ගිවිසුමේ අන්තර්ගතය විමසා බැලීමෙනි.

ශ්‍රී ලංකා චීන නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ පළමු වරට යෝජනා වන්නේ 2014 වසරේ සිදු කෙරුණු චීන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට පූර්වගාමීව 2013 වසරේ දීය. 2014 වසරේ සැප්තැම්බර් මාසයේ ඒ සඳහා වන මුල්ම තාක්ෂණික සාකච්ඡා පැවති අතර ඒ මාසයේ ම සිදුවූ චීන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතර තුර චීන වාණිජ අමාත්‍ය ගාඕ හූචෙන් (GAO HUCHENG) හා එවකට ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් කරනු ලැබීය. මෙම දින වකවානු හා සලකා බලන විට දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා වන උත්සාහය වසර 10 ක් තරම් පැරණිය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් ම පවත්වා ඇතත් එය යථාර්ථයක් වී නැත.

ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආයෝජකයාද, ණය හිමියාද මෙන්ම විශ්වාසදායී මිතුරා ද වන චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කොට පවත්වා ගෙන යෑම වසර 10ක් තරම් කාලයක් ඇදෙමින් පවතින්නේ කුමක් නිසාද ?

බැලූ බැල්මට මෙම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ ආනයන ආදායම ඉහළ නංවා ගත හැකි නමුදු ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සිදුවිය හැකි ආර්ථික අවාසිය බරින් වැඩි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දී තිබේ. විශේෂයෙන් මෙම ගිවිසුමෙන් අපනයන ආදායම ඉහළ යා හැකි නමුත් ගිවිසුම නිසා දේශීය නිෂ්පාදන ක්‍ෂේත්‍රයට බරපතළ බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බව ඔවුන්ගේ අදහසය.

යෝජිත ශ්‍රී ලංකා චීන නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් වෙරිටේ රිසර්ච් (Verite Research) ආයතනය සිදුකළ කරුණු විශ්ලේෂණයකට අනුව මෙම ගිවිසුමේ ඉතාමත් බැරෑරුම් ලෙස සලකා බැලිය යුතු කාරණා දෙකක් තිබේ.

  1. සාමාන්‍යයෙන් වෙළෙඳ ගිවිසුමක මූලික ඉලක්කය භාණ්ඩ වෙළඳාම වුවත් ශ්‍රී ලංකා චීන ගිවිසුම ඊට වඩා පුළුල් වූවකි. භාණ්ඩ වෙළඳාම පමණක් නොව සේවා, රාජ්‍ය ප්‍රසම්පාදනය හා බුද්ධිමය දේපළ යන කාරණාද ඊට ඇතුළත්ය.

වෙළඳාම හා සම්බන්ධ බුද්ධිමය දේපළ අයිතිය, පරිසර ප්‍රමිතීන් හා ආණ්ඩුවේ මිලදී ගැනීම් හා වෙළෙඳ පහසුකම් සැපයීමද මෙම ගිවිසුමට අන්තර්ගතය. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට යෝජිත ශ්‍රී ලංකා චීන නිදහස් වෙළෙඳ ගිවිසුම චීනය චිලී රාජ්‍ය හා පාකිස්තානය සමග අත්සන් කර ඇති ගිවිසුම්වලට ද වඩා සීමාන්තිකය.

චිලී හා පාකිස්තානු වෙළෙඳ ගිවිසුම් තුළටද සේවා වෙළඳාම අන්තර්ගත කර ඇතත් එය ක්‍රියාත්මක වන්නේ ගිවිසුම ක්‍රියාත්මක වූ දිනයේ සිට වසර තුනකින් පසුවය.

ශ්‍රී ලංකාව භාණ්ඩ වෙළෙඳාම ඉක්මවා සේවා වෙළෙඳාමද ඇතුළත්ව නිදහස් වෙළෙඳ ගිවිසුමක් මීට පෙර අත්සන් කර ඇත්තේ සිංගප්පූරුව (2018) සමග පමණකි. 1998 සිට ක්‍රියාත්මක ඉන්දියාව සමග වන නිදහස් වෙළෙඳ ගිවිසුම සේවා හා ආයෝජන සඳහා ද පුළුල් කිරීමට 2005 වසරේදී උත්සාහ කළ නමුත් දේශීය කර්මාන්ත අංශයෙන් මෙන්ම වෘත්තිකයන්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වීම නිසා එය අමතක කිරීමට ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට සිදු විය.

  1. ගිවිසුම මගින් බදු සහන සඳහා යෝජනා කෙරෙන භාණ්ඩ ප්‍රමාණය, බදු ප්‍රතිශතයන් මෙන්ම බදු සහන කාල පරාසය ද ඉතාමත් ඉහළය.

සාමාන්‍යයෙන් චීනය කුඩා රටවල් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමේදී බදු සහන සඳහා යෝජනා කරන භාණ්ඩ ප්‍රමාණය මෙන්ම බදු ප්‍රතිශතයද ඉතාමත් ඉහළ අගයක් ගන්නා අතර ශ්‍රී ලංකාව සමග යෝජිත ගිවිසුම ඒ අගයන් ද ඉක්මවා යන්නකි. නිදහස් වෙළෙඳ ගිවිසුම් යටතේ චීනයෙන් අපනයනය කෙරෙන භාණ්ඩ 90 % කට ආරම්භක මොහොතේ සිට 90% ක බදු සහන චීනය අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකාව මීට පෙර අත්සන් කර ඇති කිසිම නිදහස් වෙළෙඳ ගිවිසුමකින් එතරම් පුළුල් බදු සහන ලබා දී නැත. උදාහරණයක් ලෙස ඉන්දියාව හා පාකිස්තානය සමග පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම් ආරම්භ වූයේ 10% වඩා අඩු භාණ්ඩ ප්‍රතිශතයකිනි.

වාර්තා වී ඇති ආකාරයට ශ්‍රී ලංකා චීන නිදහස් වෙළෙඳ ගිවිසුම මගින් බදු සහන හිමිවන කාලය වසර් 20 කි. ශ්‍රී ලංකාව මේ දක්වා මෙතරම් දීර්ඝ බදු සහන කාලයක් සහිත වෙළෙඳ ගිවිසුමකට සම්බන්ධ වී නැත. දීර්ඝ බදු සහන කාලයක් මෙන්ම භාණ්ඩ වැඩි ප්‍රමාණයකට ඉහළ බදු සහන සහිතව චීනය සමග ගිවිසුම්ගත වීම ශ්‍රී ලංකාවටද චීනයට තරම් අපනයනය කළ හැකි විශාල භාණ්ඩ විශේෂ ප්‍රමාණයක් මෙන්ම චීනය තරම ඇති විශාල නිෂ්පාදන ධාරිතාවක්ද තිබිය යුතුය.

චීනය නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹීමෙදී බදු නොවන ආනයනික සීමාවන් වැළැක්වීම හෝ සීමා කිරීමක් දැකගත හැකිය. ශ්‍රී ලංකාව කුමන රටක් සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹුණේ වුවද සඳහා ආනයන සෙස් බද්ද වැනි බදු නොවන බාධාවන් මෙන්ම රේගු බදුවලට අමතරව අයකරන ගාස්තු (PARA TARIFF) අය කිරීමට පියවර ගන්නේ සීමාවකින් තොරව මෙන්ම අඩු මිලකට විදේශ නිෂ්පාදන දේශීය වෙළෙඳ පොළට පැමිණීමෙන් දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සඳහාය. එහෙත් චීනය යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම මගින් එකී සීමාවන් පැනවීම වළක්වන්නේ නම් ලෝකයේ පළමු ආනයනකරුවා මෙන්ම ඉදිකට්ටේ සිට ගුවන්යානා දක්වා අතිවිශාල නිෂ්පාදන ශ්‍රේණියක් හිමි නිෂ්පාදන පරිමාවද දැවැන්ත චීන නිෂ්පාදනයන්ගෙන් ශ්‍රී ලංකා කර්මාන්ත බේරා ගන්නට හැකි වේ යැයි සිතිය හැකිද? නිදහස් වෙළෙඳ ගිවිසුමක් නොමැතිවද පසුගිය කාලය පුරා චීන නිෂ්පාදන ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ ආක්‍රමණය කර තිබූ ආකාරයේ රහසක් නැත. බදු සහන නොමැති වාතාවරණයකදීත් තත්ත්වය එසේ වීනම් චීනයට වැඩි වාසි සහිත නිදහස් වෙළෙඳ ගිවිසුමක් යටතේ කුමකින් කුමක් සිදු වනු ඇත්ද ?

චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආයෝජකයා ද ණය හිමියාද, එකම ගැලවුම්කරුවා ද වුවත් චීනය සමග මේ ආකාරයට නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹීම අන්තරාදායක බව මේ දක්වා පැවති ආණ්ඩු අවබෝධ කරගෙන සිටි බව පෙනී යන්නේ වසර 10 ගත වී ඇතත් එකී ගිවිසුම ක්‍රියාත්මක තලයකට පැමිණ නොමැති නිසාය. එසේනම් දැන් ප්‍රශ්නය වන්නේ අතිශය චීන හිතවාදී රාජපක්ෂ ආණ්ඩු පවා අමතක කර තිබූ මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම හදිසියේම වත්මන් රජයේ ප්‍රමුඛ අවශ්‍යතාවක් බවට පත්ව ඇත්තේ කුමක් නිසාද යන්නය.

ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට තෝරාගෙන ඇති එකම විසඳුම වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමය. මූල්‍ය අරමුදල ඒ සඳහා සැදී පැහැදී සිටින නමුත් ඔවුන් ඉල්ලා සිටින චීන සහතිකය තවමත් ලැබී නැත. ඉන්දියාව, ජපානය හා පැරිස් සමාජය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් බව ඍජුවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී ඇතත් චීනය තවමත් එවැනි දැනුම් දීමක් කර නැත. වසර දෙකකට ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබා දීමට සූදානම බව චීනයේ එක්සිම් බැංකුව ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දී ඇතත් මූල්‍ය අරමුදල ඊට වඩා දීර්ඝ ණය සහන කාලයක් අපේක්ෂා කරන අතර ඒ බව චීනය තමන්ට ඍජුවම දැනුම් දෙනු ඇතැයි අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාවට සහය වීම සඳහා දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍යව ඇත්තේ චීන සහතිකය පමණකි.

මේ අනුව පෙනී යන්නේ චීනයට කෙසේ හෝ ශ්‍රීලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතිකයක් ලබා නොදී සිටිය හැකි තත්ත්වයක් පෙනෙන්නට. වසර 10 ක් තිස්සේ අමතකව ගොස් තිබූ නිදහස් වෙළෙඳ ගිවිසුමක් ගැන මේ අවස්ථාවේ යළි කතා කරන්නට පටන්ගන්නේ මූල්‍ය අරමුදලට ලබා දිය යුතු සහතිකය වෙනුවෙන් මිල අය කරගැනීමට විය නොහැකිද? හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබා දුන් ණය නොලැබීමේ අවදානමක් මතු වූ විට චීනය කළේ එවකට පැවති යහපාලන ආණ්ඩුවට බලපෑම් කර එම වරාය තමන් සතු කර ගැනීමය. කොළඹ වරාය නගරය ඉදිකිරීම අවිනිශ්චිත වී එය දිනෙන් දින ප්‍රමාද වන විට චීනය එම පාඩුව පියවා ගත්තේ වරාය නගරය ඉදිකිරීම සඳහා ගොඩකරන ලද ඉඩමෙන් ඔවුන් සන්තක භූමි ප්‍රමාණය වැඩි කර ගැනීමෙනි. ඒ අනුව තමන් කරන්නට අකැමැති නමුත් නොකර බැරි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතික වීම සඳහා වන මිල චීනය අය කරගන්නට උත්සාහ කරන්නේ තමන් සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට ශ්‍රී ලංකාව එකඟ කරවා ගැනීමෙන් නොවේ යැයි කිසිවෙකුට කිව හැකි යැයි සිතිය නොහැක. එය එසේනම් යෝජිත ශ්‍රී ලංකා චීන නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර චීනයට ගෙවන මිල මූල්‍ය අරමුදලේ සහය නොමැති වුවහොත් දරන්නට සිදු වන මිලට වඩා බොහෝ වැඩි වනු ඇත.

ආචාර්ය ලලිත් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment