ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමේ තුන්වන වටයේ සාකච්ඡා සඳහා තායිලන්ත ප්‍රධානීහු දිවයිනට

77

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා සඳහා සහභාගිවීමට තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයම ඊයේ (08දා) පෙරවරුවේ දිවයිනට පැමිණියහ.

තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් (්මර්පදබ ීමචඑය්ඇැඑයමප) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම නියෝජිතයන් 26 දෙනෙකුගෙන් සමන්විතය. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා අද (09දා) සහ හෙට (10දා) කොළඹදී පැවැත්වෙන අතර භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, ආයෝජන, ප්‍රභවස්ථාන රීති, රේගු සහයෝගීතාව හා වෙළඳාම් පහසුකරණය සහ ආර්ථික සහයෝගීතාව යන ක්ෂේත්‍ර පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.

මෙම සාකච්ඡා සදහා ශ්‍රී ලංකා පාර්ශවයෙන් ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව සහභාගී වන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය, වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශයෙහි වෙළඳ හා ආයෝජන කටයුතු දෙපාර්තමේන්තුව හා වාණිජ දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයන්ද ඊට ඇතුළත්ය. ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම 2024 පළමු කාර්තුවේ දී ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන අතර, දේශීය වාණිජ මණ්ඩල හා කර්මාන්ත සංගම් විසින් ඉදිරිපත් කරන ලද නිශ්චිත ඉල්ලීම් පිළිබඳව ද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment