ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ වගකීමත් චන්දිගේ කර මතට

311

පළමු ඉනිමේදී මෙන් දෙවැනි ඉනිමේදී ද පාකිස්තාන පන්දු යවන්නන් ඉදිරියේ සාර්ථක වූ දිනේෂ් චන්දිමාල්ගේ සටන්කාමී ඉනිම හේතුවෙන් පාකිස්තාන කණ්ඩායම සමගින් ගාල්ලේදී ක්‍රියාත්මක වන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (18 වැනිදා) දිනය නිමාවන විටදී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 329ක් ලබා සිටියේය. ඒ අනුව නොදැවී පන්දුවට පහර දෙමින් සිටි දිනේෂ් චන්දිමාල් හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 86ක් සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 4ක් ලබා සිටියේය.

 තෙවැනි දිනට ඊයේ උදෑසන තරගය ආරම්භ කරන විටදී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 1ක් දැවී ලකුණු 36ක් ලබා සිටියේය. නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ඕෂධ ප්‍රනාන්දු ලකුණු 17ක් ලබා සිටි අතර දෙවැනි දිනයේ සැඳෑ ආරක්ෂක පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි කසුන් රාජිත නොදැවී ලකුණු 3ක් ලබා සිටියේය. ඒ අනුව ඊයේ දිනය ආරම්භ කරමින් ක්‍රියාත්මක කළ දෙවැනි පන්දු වාරයේදී කසුන් රාජිත කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට මොහොමඩ් නවාස් සමත් වෙමින් දිනයේ ශ්‍රී ලංකා පළමු කඩුල්ල දවා ගැනීමට සමත්විය.

 එතැන් පටන් ඕෂධ ප්‍රනාන්දු සමගින් පිටියට එක් වූ කුසල් මෙන්ඩිස් පාකිස්තාන පන්දු යවන්නන් හොඳින් පාලනය කරමින් ඊයේ දිනයේ දිවා ආහාරය වනතෙක් කඩුලු රැක ගැනීමට සමත්වූහ. ඒ අතරවාරයේ ලකුණු 91ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කිරීමටද ඔවුන් දෙදෙනා සමත්වූහ.

 පැතුම් නිස්සංකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඔහු වෙනුවට කණ්ඩායමේ ස්ථානයක් හිමි වූ ඕෂධ ප්‍රනාන්දු එයින් උපරිම ප්‍රයෝජන ගනිමින් සිය ටෙස්ට් දිවියේ 6 වැනි අර්ධ ශතකය රැස් කිරීමට සමත්විය.

 ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු 132දී බාබර් අසාම් අතට උඩ පන්දුවක් ලබා දී යසීර් ෂා ගේ පන්දුවක් හමුවේ ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ඕෂධ ප්‍රනාන්දු දැවී යද්දී එක් හයේ පහරක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 64ක් ලබා සිටියේය.

 පළමු ඉනිමේදී ද ලකුණු අතරට පිවිසීමට ඉඩ ලබා නොදුන් පාකිස්තාන පන්දු යවන්නෝ දැවැනි ඉනිමේදීද ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම ලකුණු 9කට සීමා කර දැමීමට සමත්වූහ. ඒ අතරවාරයේ කුසල් මෙන්ඩිස් සමගින් එක්වී ලකුණු 32ක් ශ්‍රී ලංකා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් දායකත්වය සැපයීමට මැතිව්ස් සමත්විය.

 ඊයේ දිනයේදී සිය 15 වැනි ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළ කුසල් මෙන්ඩිස් එම ඉනිම ශතකයක් දක්වා පහසුවෙන්ම ගෙන යෑමට අවස්ථාවක් තිබියදී යසීර් ෂාගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී ලකුණු 76කට දැවී ගියේය.

 දිවා භෝජනය සහ තේ පානය අතරතුර දී ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 125ක් එක් වෙද්දී කඩුලු 5ක් දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.

 ඔස්ටේ්‍රලියාව සමගින් පැවැති අවසන් තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කළ කමිඳු මෙන්ඩිස් ඉවත් කරමින් කණ්ඩායමට නැවත කැඳවූ ධනංජය ද සිල්වා පළමු ඉනිමේදී මෙන් දෙවැනි ඉනිමේදී ද සිය වගකීම පැහැර හරිමින් සහ නිරෝෂන් දික්වැල්ලගේ කලබලකාරී පිතිකරණය හේතුවෙන් මැදපෙළ යළිත් අසාර්ථක වෙද්දී ශ්‍රී ලංකා ඉනිමට මුක්කු ගැසූ දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ වගකීම උරමත රඳවා ගනිමින් සටන්කාමී ඉනිමක් දියත් කළේය. රමේෂ් මෙන්ඩිස් සහ මහීෂ් තීක්ෂණ එක් අන්තයක රඳවා ගනිමින් සිය 23 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ චන්දිමාල් ඊයේ දිනට තරගය නතර කර දමන විටදී සිය 14 වැනි ටෙස්ට් ශතකයට තවත් ලකුණු 14ක් පිටුපසින් සිටියේය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ වගකීමත් චන්දිගේ කර මතට

advertistmentadvertistment
advertistmentadvertistment