ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නවසීලන්ත තණතිල්ලේ රඟති!

277

ලකුණු 10 ක් ඇතුළත නවසීලන්ත පිලේ ඉදිරි පෙළ කඩුලු 3 ම දවා ගැනීමට සමත්වීම නිසා ක්‍රයිස්චර්ච්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (10 දා) තරගය නිමා කරන විට තරගයේ වාසි තමන් වෙත හරවා ගනිමින් සිය වේග පන්දුවේ ජවය පෙන්වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ මෙම දක්ෂතාව ප්‍රධාන කොට දෙවැනි දිනට තරගය නිමා කරන විට නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 162 කට කඩුලු 5 ක් අහිමි කරගෙන සිටියහ.

හෙග්ලි ඕවල් පිටියේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා ඉනිම අභිබවා යෑමට නම් නවසීලන්ත පිල තවත් කඩුලු 5 ක් ඇතුළත ලකුණු 193 ක් ලබා ගත යුතු වේ. ගැටලුවට හේතු වන්නේ නවසීලන්ත පිලේ නම් දැරූ පිතිකරුවන්ගෙන් ඉතිරිව සිටින්නේ ඩැරල් මිචෙල් පමණක් වීමය. දවස අවසන් වන විට මිචෙල් පන්දු 89 කට මුහුණ දී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 40 ක්ද මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 9 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටිති.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නවසීලන්ත තණතිල්ලේ රඟති!

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 355 කට සීමා කිරීමෙන් අනතුරුව පළමු ඉනිම ඇරඹූ නවසීලන්ත පිල වෙනුවෙන් ලකුණු 67 ක් පළමු කඩුල්ල වෙනුවෙන් එක් කිරීමට ටොම් ලෙතම් සහ ඩෙවෝන් කෝන්වේ සමත් වුවත්, අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර එක්ව ලකුණු 10 ක් ඇතුළත තරගය කණ පිට පෙරලූහ. ඒ නවසීලන්තය සතු වටිනාම කඩුල්ල වන කේන් විලියම්සන්ගේ ඉනිම ද පන්දු 11 කට සීමා කරමිනි.

ලකුණු 67 කට කිසිවකු නොදැවී තිබූ ඉනිම ලකුණු 77 වන විට කඩුලු 3 ක් දක්වා පරිවර්තනය කළේ ළහිරු කඩුලු 2 ක් සහ අසිත කඩුල්ලක් දවා ගනිමිනි. විලියම්සන්ට අමතරව කෝන්වේ සහ හෙන්රි නිකොල්ස්ද දැවී ගිය පිතිකරුවන් අතරට අයත් විය.

යෝකර් පන්දුවකින් කෝන්වේව දවාගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වද්දී ළහිරු කුමාර විසින් විලියම්සන්ගේ කඩුල්ල දවා ගත්තේය. ශ්‍රී ලංකා පිලට නව ජවයක් එකතු වුණු කඩුල්ලක් ලෙසින් විලියම්සන්ගේ කඩුල්ල සඳහන් කළ හැක. කුමාරගේ පන්දුවකට ඩ්‍රයිව් පහරක් එල්ල කිරීමට යෑමේදී එය නායක කරුණාරත්න පරෙස්සමට රැක ගත්තේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නවසීලන්ත තණතිල්ලේ රඟති!

පෙරමුණ බිඳ වැටුණු නවසීලන්ත ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූයේ ටොම් ලේතම් වන අතර ඔහු තරගය අවසන් වීමට හෝරාවකට අඩු කාලයක් තිබියදී දැවී ගියේය. දැවී යන විටත් තම 27 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට වමත් පිතිකරුවා සමත්වී සිටියේය. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර කඩුලු 2 ක බැගින් දවා ගනිද්දී කසුන් රාජිත එක් කඩුල්ලක් දවා ගත්තේය.

ඊයේ උදෑසන පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 50 කින් ලකුණු පුවරුව ඉහළ දමා ගත්තේය. පෙරේදා නතර කළ තැනින් ඊයේ දිනය ආරම්භ කළද ධනංජය ද සිල්වාට රැස් කරගත හැකි වූයේ ලකුණු 07 ක් පමණි. මැට් හෙන්රිගේ පන්දුවක් හමුවේ ධනංජය ලකුණු 46 කට දැවී ගියද අවසන් පිතිකරුවන් සිවු දෙනා එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 39 ක් එක් කළහ. කෙසේ වෙතත් උදෑසන දැවී ගිය කඩුලු 5 න් කඩුලු 2 බැගින් සමව දවා ගැනීමට මැට් හෙන්රි සහ ටිම් සවුති සමත් වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු මෙම පන්දු යවන්නන් දෙදෙනා සිය පන්දු යැවීම නිමා කළේ පිළිවෙළින් ලකුණු 64 කට කඩුලු 5 ක සහ ලකුණු 80 ට කඩුලු 4 ක් වශයෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment