ශ්‍රී ලංකා ප්‍රතිරූපය ඉහළ නැංවීමට ඩොලර් මිලියන 6.5 ක් ලබාදුන්නැයි නඩුවේ හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට ඇප

238

අධිකරණය විසින් නිකුත් කළ සිතාසි නියෝගය අනුව අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට රු. මිලියන 10 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (07 දා) නියෝග කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා කටයුතු කිරීමට ඇමරිකානු රහස් ඔත්තු සේවයේ සාමාජිකයකු යැයි කියන ඉමාඩ් ෂා සුබේරි නමැත්තාට ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක් ලබාදීමක් සම්බන්ධයෙන් තීනියාවල පාලිත හිමියන් විසින් ගොනුකර තිබූ පෞද්ගලික නඩුවක් සලකා බැලූ අධිකරණය පසුගිය අප්‍රේල් 25 දා එම සිතාසිය නිකුත් කර තිබිණි.

එම පැමිණිල්ල සංශෝධනය කර සංශෝධිත පැමිණිල්ලක් ගොනු කිරීමට අවසර ලබාදෙන ලෙස පැමිණිළිකාර තීනියාවල පාලිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය. පෙර ඉදිරිපත් කළ පැමිණිල්ල සංශෝධනය කර නව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අවසර ලබාදී ඇති බැවින් සිය සේවා දායකයාට විදේශගත වීම වළක්වමින් පසුගිය අප්‍රේල් 25 වැනිදා අධිකරණය විසින් ඒකපාර්ශ්විකව නිකුත් කර ඇති නියෝගය අවලංගු කරන ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තම අධිකරණයට ඉදිරිපත් කොට ඇති පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමක් සිදුකර නොමැති බවත් පැමිණිල්ලට අවසර දී ඇත්තේ එය සංශෝධනය කිරීමට පමණක් වන්නේ යැයි පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා එකී සංශෝධිත පැමිණිල්ල ඉදිරිපත් කළ පසු එම ඉල්ලීම කරනා ලෙස පෙන්වා දෙමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

නීතිඥ අසිත සිරිවර්ධන, දසුන් චන්ද්‍රසේන, රාජිත රාජපක්‍ෂ ඇතුළු නීතිඥ මණ්ඩලයත් සමග ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment