පළමු දිනයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට – ශ්‍රී ලංකා – පාකිස්තාන  දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

233

තරගාවලියේ ජය, පාරාජය හෝ සමවීම තීරණය කෙරෙන ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගය ගාල්ලේදී ඊයේ (24 වැනිදා) ආරම්භ කෙරිණි. ඒ අනුව පළමු දිනට ඊයේ තරගය නතර කර දමන විටදී සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 315ක් ලබා සිටියේය.

දිනය නිමාවන විටදී නොදැවී පන්දුවට පහර දෙමින් සිටි නිරෝෂන් දික්වැල්ල ලකුණු 42ක් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 06ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පිති ප්‍රහාරයේ යෙදීමට තීරණය කළේය. ඒ අනුව නායකයා සමගින් පිටියට එක් වූ ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා ඉනිමට ශක්තිමත් අඩිතාලමක් දමමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 92ක් රැස් කිරීමට සමත්වූහ. ඒ අතරවාරයේ ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ 7 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කළ ඕෂධ ප්‍රනාන්දු හතරේ පහර 4කින් සහ හයේ පහර 3කින් පාකිස්තාන පන්දු යවන්නන්ට සංග්‍රහ කිරීමට වග බලා ගත්තේය.

මොහොමඩ් නවාස්ගේ පන්දුවක් හමුවේ මොහොමඩ් රිස්වාන් අතට උඩපන්දුවක් ලබා දී ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙසින් ලකුණු 50ක් ලබා සිටියදී දැවී ගියේය.

දිවා භෝජනයට පෙර යෑවූ අවසන් පන්දු වාරයේදී දුවද්දී දැවී යෑමකට හසුව කුසල් මෙන්ඩිස් ලකුණු 3කට දැවී යෑම මත මුළු ලකුණු 96දී ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල අහිමි වී ගියේය. පන්දුවට පහර දෙමින් සිටි දිමුත් කරුණාරත්න එල්ල කළ පහරක් පන්දු යැවූ ක්‍රීඩකයාගේ අතේ වැදී එම අන්තයේ කඩුල්ලේ වැදීමෙන් මෙන්ඩිස්ගේ ඉනිමට වේලාසනින්ම තිත වැටුණි.

දිවා භෝජනයෙන් අනතුරුව පිටියට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා නායකයා සමගින් එක්වී තෙවැනි කඩුල්ලට ලකුණු 24ක සම්බන්ධතාවක් එක් කරමින් සිටියදී යසීර් ෂාගේ පන්දුවක් හමුවේ නසීම් ෂා අතට උඩපන්දුවක් ලබා දී දිමුත් කරුණාරත්න ලකුණු 40කට දැවී යෑම මත ශ්‍රී ලංකාවට තෙවැනි කඩුල්ල අහිමි වී ගියේය.

සිය 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් ඊයේ දිනයේදී තමාගේ 39 වැනි ටෙස්ට් අර්ධ ශතකයට ලකුණු 8ක් පිටුපසින් සිටියදී ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසින් දැවී ගියේය. ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු 195දී මැතිව්ස් දැවී යද්දී ඒ අතර වාරය තුළදී චන්දිමාල් සමගින් එක්ව එම කඩුල්ලට ලකුණු 75ක සම්බන්ධයක් එක් කොට තිබිණි.

දිනයේ සාර්ථකම පිතිකරුවා බවට පත්වූ දිනේෂ් චන්දිමාල් පාකිස්තානයට එරෙහිව මෙම තරගාවලියේදී පිට පිටම වාර්තා කළ තෙවැනි අර්ධ ශතකයට හිමිකම් කීවේ තමාගේ ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතක ගණන 24 දක්වා ඉහළ දමා ගනිමිනි. එම ඉනිම පහසුවෙන්ම ශතක ඉනිමක් බවට පරිවර්ථනය කර ගැනීමට තිබූ අවස්ථාව අවහිර කළ මොහොමඩ් නවාස් චන්දිමාල්ගේ ඉනිම ලකුණු 80කට සීමා කරද්දී හයේ පහර 2කින් සහ හතරේ පහර 9කින් පාකිස්තාන පන්දු යවන්නන්ට සංග්‍රහ කිරීමට ඔහු වගබලාගෙන තිබිණි.

ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු 258දී චන්දිමාල් දැවී යනවිටදී මැතිව්ස්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා සමගින් ශ්‍රී ලංකා සිව්වැනි කඩුල්ලට ලකුණු 63ක සම්බන්ධතාවයක් එක්කර තිබිණි.

ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක කළ 80 වැනි පන්දු වාරයෙන් අනතුරුව නව පන්දුව ලබාගනිමින් නසීම් ෂා යොමු කළ දෙවැනි පන්දුවේදී ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් දැවී

ගියේය. ධනංජය ද සිල්වා එක් හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 33ක් රැස් කළේය.

ශ්‍රී ලංකා පිතිකරුවෝ ඊයේ දිනයේදී පාකිස්තාන පන්දු යවන්නන්ට එරෙහිව හයේ පහර 7ක් සහ හතරේ පහර 30ක් එල්ල කර තිබුණු අතර පාකිස්තාන පන්දු යවන්නෝ ඊයේ දිනයේදී අතිරේක ලකුණු 19ක් ශ්‍රී ලංකාවට ලබා දී තිබිණි.

පළමු දිනයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට - ශ්‍රී ලංකා -  පාකිස්තාන  දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment