ශ්‍රී ලංකා – බංග්ලාදේශ  දෙවැනි ටෙස්ට් සටන අද – තරගාවලියේ තීරණය සොයන

250

අයි.සී.සී. ලෝක කුසලාන ටෙස්ට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර ක්‍රියාත්මක තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය මීර්පූර් ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) ආරම්භ වේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30ට තරගය ආරම්භ වීමට නියමිතව තිබේ.

දෙරට අතර ක්‍රියාත්මක වූ පළමු තරගය ජය පරාජයකින් තොරව අවසන් වීමත් සමගින් අද ආරම්භ කෙරෙන තරගය ජය ගැනීමට සමත්වන කණ්ඩායමට තරගාවලියේ ජය හිමිකර ගැනීමට තීරණාත්මක අවස්ථාවක් උදාවී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ජාත්‍යන්තර ටෙස්ට් තරග ඉතිහාසයේදී මේ දක්වා එක් තරගයක් පමණක් ජය ගැනීමට සමත්වී සිටින බංග්ලාදේශයට අද ආරම්භ කෙරෙන තරගය ජයග්‍රහණයකින් යුතුව නිමා කිරීමට සමත්වුවහොත් ශ්‍රී ලංකාවට එරෙහිව පළමු වරට ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමේ අවස්ථාව ඔවුන්ට උදාවේ. ඒ පළමු වරට සිය මව්බිමේදී ප්‍රතිවාදී ශ්‍රී ලංකාව පරාජයට පත්කිරීමක්ද සමගිනි.

දෙරට අතර ක්‍රියාත්මක වී ඇති ටෙස්ට් තරග 23න් තරග 17ක් ජය ගැනීමට සමත්වී ඇති ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගැනීමට සමත්වුවහොත් බංග්ලාදේශයට එරෙහිව පිට පිටම වාර්තා කරන 3 වැනි ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය සැමරීමට සංචාරක කණ්ඩායමට අවස්ථාව උදාවේ.

කෙසේ වෙතත් පළමු තරගයට ක්‍රීඩා කළ බංග්ලාදේශ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක නයීම් හසාන්ට මෙම තරගය අහිමි වි තිබේ. පළමු තරගයේදී ඔහුගේ දකුණු අතේ ඇඟිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන් අද තරගය නයීම්ට අහිමි වී තිබේ. දෙරට අතර පළමු තරගයේදී ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 6ක් බිඳ දැමීමට නයීම් හසාන් සමත්විය.

මීට අමතරව පළමු තරගයේදී සිදු වූ ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ශොරිෆුල් ඉස්ලාම්ටද දෙවැනි තරගය අහිමි වී තිබේ. ඒ අනුව එබටඩ් හසන්, ෂොයිදුල් ඉස්ලාම් සහ රහමන් රාජා යන ක්‍රීඩකයන් තිදෙනාගෙන් දෙදෙනකු කණ්ඩායමට කැඳවීමට නියමිතව තිබේ.

පන්දුවක් හිසේ වැදීමෙන් ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දුට ඇතැම් විට අද තරගය අහිමි වීමට වැඩි ඉඩකඩක් නිර්මාණය වී ඇති අතර විශ්ව ප්‍රනාන්දු වෙනුවට කණ්ඩායමට කැඳවූ කසුන් රාජිත අද තරගයටත් ක්‍රීඩා කරනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කර සිටී. කසුන් රාජිත දෙරට අතර පළමු තරගයේදී බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලු 4ක් බිඳ දමමින් දස්කම් දැක්වීමට සමත්විය.

ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ලසිත් ඇඹුල්දෙණිය, ඕෂධ ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු/කසුන් රාජිත, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්.

බංග්ලාදේශ කණ්ඩායම – මොමිනුල් හක්, මහමුදුල් හසන්, තමිම් ඉක්බාල්, නජ්මුල් හසන්, මුෂ්ෆිකර් රහීම්, ලිටන් දාස්, ෂකීබ් අල් හසන්, තයිජුල් ඉස්ලාම්, කලීඩ් අහමඩ්, එබටඩ් හසන්, ෂොයිදුල් ඉස්ලාම්, රහමන් රාජා.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment